ලංකාවේ නව මාධ්‍ය ප්‍රතිපත්තිය ගැන නලීන්ද මාලදිවයිනේදී කතා කරයි

ams2026

රජයක් මගින් පනවනු ලබන දැඩි නීතිරීතිවලින් මාධ්‍ය පාලනය කිරීමට වඩා, මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සක්‍රීය මැදිහත්වීමෙන් සිදුවන ‘ස්වයං-නියාමනය’ (Self-regulation) වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම සාර්ථක ක්‍රමවේදය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාලදිවයිනේ මාලේ නුවරදී පැවැත්වෙන 21 වන ආසියානු මාධ්‍ය සමුළුවේ (21st Asia Media Summit - AMS 2026) ඉහළ පෙළේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට (High-Level Ministerial Session) එක්වෙමිනි.

"Maldives 2.0: From Tradition to Tech" යන තේමාව යටතේ පැවැත්වුණු මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණයන් මානව පරිණාමයේ ස්වාභාවික ප්‍රතිඵලයක් බැවින් ඒවා දෙස බියෙන් බැලිය යුතු නොවන බවයි. ඒ වෙනුවට එම තාක්ෂණයන් මානව හිමිකම් සහ නීතිමය රාමුවට ගරු කරමින්, වගකීම් සහගතව වැළඳගැනීම අත්‍යවශ්‍ය බව හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ නව ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කළ අමාත්‍යවරයා, එම ප්‍රතිපත්තිය ප්‍රධාන කුළුණු තුනක් මත පදනම් වන බව පැහැදිලි කළේය. එනම්: මාධ්‍ය නිදහස තහවුරු කිරීම, ඩිජිටල් යුගය තුළ පුද්ගල පෞද්ගලිකත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීම සහ මාධ්‍යවේදීන් සඳහා වරලත් ආයතනයක් පිහිටුවීම හරහා වෘත්තීයවේදීත්වය ශක්තිමත් කිරීම යන කරුණුයි.

සම්ප්‍රදායික හා ඩිජිටල් මාධ්‍ය අතර පවතින සබඳතාවය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම ක්ෂේත්‍ර දෙක එකිනෙකා සමඟ තරග කරන්නන් ලෙස නොව, සත්‍ය හා වගකීම් සහගත පුවත් ජනගත කිරීමේදී අත්වැල් බැඳගත යුතු සහකරුවන් ලෙස ක්‍රියා කළ යුතු බවයි.

කලාපීය සහකරුවන් සමඟ එක්ව මහජන සුබසිද්ධිය උදෙසා කැපවුණු, අනාගතයට සූදානම් ශක්තිමත් මාධ්‍ය පද්ධතියක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් කැපවන බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙම අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව සඳහා කලාපීය රාජ්‍ය නායකයින් සහ ඉහළ පෙළේ නියෝජිතයින් රැසක් එක්ව සිටියහ. බංග්ලාදේශයේ තොරතුරු සහ විකාශන අමාත්‍ය, ටිමෝර් ලෙස්තේ රජයේ සමාජ සන්නිවේදන පිළිබඳ රාජ්‍ය ලේකම් සහ මාලදිවයිනේ තොරතුරු හා කලාව පිළිබඳ අමාත්‍ය ඉබ්‍රාහිම් ඉෂාම් මහතා ද මෙහිදී අදහස් දැක්වූහ. මීට අමතරව බිම්ස්ටෙක් (BIMSTEC) මහලේකම් ඉන්ද්‍ර මණි පාන්ඩේ මහතා සහ සාර්ක් (SAARC) මහලේකම් එම්.ඩී. ගොලාම් සර්වර් මහතා ද මෙම විශේෂ අවස්ථාවට සහභාගී වූහ.

මාලදිවයිනේ විලා නෝටිකාහි ( Villa Nautica) පසුගිය 11වනදා ආරම්භ වු 21 වන ආසියානු මාධ්‍ය සමුළුව හෙට (14) දින දක්වා පැවැත්වෙන අතර මෙම සමුළුව  සඳහා ආසියානු රටවල් ගණනාවක් නියෝජනය කරමින් ප්‍රතිපත්ති සම්පාදකයින්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මාධ්‍ය වෘත්තිකයින්, සන්නිවේදන පර්යේෂකයින්, නිරීක්ෂකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටී.