ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිණිය ජාත්‍යන්තර හෙද දිනයේදී සමරනු ලබයි

nurses-day-2026

ඒ වෙනුවෙන් සමස්ත ලංකා හෙද සංගමය (All Ceylon Nurses' Union) සංවිධානය කළ සැමරුම් උත්සවයක් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය  ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ස්නායු ක්ෂති වෛද්‍ය අංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් ජාත්‍යන්තර හෙද කවුන්සිලය (International Council of Nurses - ICN) විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල තේමාව වන "අපගේ හෙද සේවය අපගේ අනාගතයයි. සවිබලගැන්වූ හෙද සේවය ජීවිත සුරකී" (Our Nurses our Future : Empowered Nurses Save Lives) යන තේමාව කේන්ද්‍ර කරගනිමින් ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් වූ මෙරට ප්‍රධාන සැමරුම පැවැත්වීමට සමස්ත ලංකා හෙද සංගමය කටයුතු යොදා තිබුණි.

සෞඛ්‍ය පද්ධතිය තුළ සහ සමාජය වෙනුවෙන් හෙදියන් ඉටුකරන සුවිශේෂී කාර්යභාරය, ඔවුන්ගේ කැපවීම සහ වෘත්තීය ගරුත්වය ඇගයීම අරමුණු කරගනිමින් පැවැති මෙම සැමරුම් උත්සවයේ අරමුණ පැහැදිළි කිරීම සමස්ත ලංකා හෙද සංගමයේ අධ්‍යාපන ලේකම් ප්‍රසාද් පලිපාන  මහතා විසිනුත්, කොළඹ විශ්ව විද්‍යාලයේ හෙද පීඨයේ මහාචාර්ය සුදත් වර්ණකුලසූරිය සහ රුහුණු විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ හෙද දෙපාර්තමේන්තු ප්‍රධානි මහාචාර්ය නිර්මලා රත්නායක යන මහත්මීන් විසින්  ප්‍රධාන දේශන ද පවත්වන්නට යෙදුන අතර, ලෝක හෙද සේවයේ නිර්මාතෘ ෆ්ලෝරන්ස් නයිටිංගේල් (Florence Nightingale)  ගුණානුස්මරණය සහ  "හෙදකම" සඟරාව නිල වශයෙන් පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) II චාමික එච් ගමගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II සුමේදා ප්‍රියභාෂිණි, ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ප්‍රදීප් විඡේසිංහ,  ශ්‍රී ලංකා හෙද සභාවේ සභාපති ඩබ්.ඒ කීර්තිරත්න, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ මෙහෙයුම් කමිටු සමාජික ඩි.එම් විඡේරත්න, සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී මැදිවත්ත මහතා ඇතුළු එම සංගමයේ සාමාජික සමාජිකාවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.