රාජ්‍ය නිලධාරීන්ට මරණ වරෙන්තුවක්! භාණ්ඩාගාරයේ සල්ලි හොරකම් කළොත් පෙන්ෂන් එකත් ඉවරයි; කෙළින්ම හිරේට

on-state-service

පරිගණක පද්ධති හොරෙන් Override කළොත් පරීක්ෂණ නැතුවම රැකියා අහිමි වෙයි; ලොක්කන්ටත් CID පරීක්ෂණ

මෑතකදී සිදු වූ මූල්‍ය වංචා හමුවේ රාජ්‍ය ආයතන සතු සාම්ප්‍රදායික ලිහිල් පරිපාලන ක්‍රමය මුළුමනින්ම අහෝසි කරමින්, මින් ඉදිරියට සිදුවන ඕනෑම සයිබර් මූල්‍ය වංචාවකදී සහ නොසැලකිලිමත්කමකදී අදාළ රාජ්‍ය නිලධාරීන්ට සෘජු පුද්ගලික, මූල්‍යමය සහ සාපරාධී වගකීම (Criminal Accountability) පැවරීමට රජය දැඩි තීරණයක් ගෙන ඇත.

හදිසි මූල්‍ය රෙගුලාසි යටතේ මුදල් අමාත්‍යාංශය නිකුත් කර ඇති නවතම නියෝග මඟින් මේ බව අනාවරණය වේ.

භාණ්ඩාගාරයේ ආරක්ෂණ පද්ධති බිඳවැටීමට හේතුව හුදෙක් බාහිර හැකර්වරුන් (Hackers) පමණක් නොව, රාජ්‍ය නිලධාරීන්ගේ පද්ධතිමය නොසැලකිලිමත්කම සහ අත්තනෝමතික මැදිහත්වීම් බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හඳුනාගෙන ඇත. මේ නිසා, මින් ඉදිරියට සයිබර් ආරක්ෂණ විධිවිධාන මඟහැර ක්‍රියා කරන ඕනෑම නිලධාරියෙකුට ක්ෂණික රැකියා අහිමි වීම, මුළු පවුලම මූල්‍යමය වශයෙන් අනාථ වීම සහ දැඩි සිරදඬුවම් විඳීමට සිදුවන "යකඩ රාමුවක්" (Ironclad Regime) අලුතින් හඳුන්වා දී තිබේ.

අලුත් නීති රීතිවලින් රාජ්‍ය නිලධාරීන් කොටු වන ආකාර 4 මෙන්න

භාණ්ඩාගාරයේ සංශෝධිත නව මූල්‍ය රෙගුලාසි අනුව වැරදිකරුවන්ට ලැබෙන දඬුවම් මෙසේය.

පෙන්ෂන් සහ පඩි වහාම තහනම් (Personal Liability):

පද්ධතියේ ආරක්ෂක අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් (Manual Override) අනුමත නොකළ ගිණුම්වලට මුදල් මාරු කරන නිලධාරීන්ගෙන් එම පාඩුව පියවා ගැනීම සඳහා ඔවුන්ගේ මාසික වැටුප, පාරිතෝෂික දීමනා (Gratuity) සහ රාජ්‍ය විශ්‍රාම වැටුප (Pension) වහාම තහනම් කර රාජසන්තක කිරීමට රජයට නීතිමය බලය පවරා ඇත.

විනය පරීක්ෂණ නැත; කෙළින්ම ගෙදර:

මීට පෙර අත්හිටුවන ලද නිලධාරීන්ට අර්ධ වැටුප් ලබමින් දීර්ඝ විනය පරීක්ෂණවලට මුහුණ දීමට තිබූ සහනය ඉවත් කර ඇත. අනිවාර්ය සත්‍යාපන ඇමතුම් (OOB Callback) මඟහරින නිලධාරීන් කිසිදු මූලික විභාගයකින් තොරව වහාම සේවයෙන් නෙරපා හැරේ.

අවුරුදු 5ක බරපතළ වැඩ සහිත හිරදඬුවම්:

මෙම නීති උල්ලංඝනය කිරීම් පරිපාලන වැරදි ලෙස සලකන්නේ නැත. නීතිපති දෙපාර්තමේන්තුව හරහා 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 3 වැනි වගන්තිය යටතේ නඩු පවරන අතර, වරදකරු වුවහොත් වසර 5ක් දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවම් (Rigorous Imprisonment) හිමි වේ.

රජයේ සහ පුද්ගලික අංශයේම බ්ලැක්ලිස්ට්:

සේවයෙන් පහ කරන නිලධාරීන් ජාතික අසාදු ලේඛනයකට (Blacklist) ඇතුළත් කෙරේ. ඔවුන්ට කිසිදු අමාත්‍යාංශයක, පලාත් සභාවක හෝ පුද්ගලික බැංකු හා මූල්‍ය ආයතනයක කිසිදු තනතුරක් දැරීමට නොහැකි වන සේ මහ බැංකුව මඟින් දැඩි තහනමක් පනවනු ඇත.

වගකීම ඉහළටම: ලොක්කන්ටත් CID පරීක්ෂණ

නව Accountability මොඩලය අනුව වගකීම ඉහළ නිලධාරීන් වෙත ද සිරස් අතට ගලා යයි. යම් පහළ නිලධාරියෙකු ආරක්ෂක පියවරක් මඟහැර වංචාවක් සිදු කළහොත්, ඔහුගේ සෘජු සුපරීක්ෂකවරයා වන අධ්‍යක්ෂ (Director) හෝ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ද (Additional DG) වහාම සේවයෙන් අත්හිටුවා ඔවුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් විමර්ශන ආරම්භ කෙරේ.

තමන් ස්වාධීනව සහ නිවැරදිව පද්ධති වාර්තා (Verification Logs) පරීක්ෂා කළ බව ඔප්පු කිරීමට අපොහොසත් වන සෑම ඉහළ නිලධාරියෙකුම "අණදීමේ වගකීම" (Command Responsibility) යටතේ මෙම වංචාවල හවුල්කරුවන් ලෙස නීතිය හමුවට පැමිණවීමට නියමිතය.

(theleader.lk)