ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බව ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්යූ)මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,
1978 වසරේ එවකට යූඇන්පී ආණ්ඩු පාලන සමයේ එවකට ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික) විධිවිධාන පනත ප්‍රකාශයට පත්කර අදට වසර 45 කට ආසන්න කාලයක් මුළුල්ලේම පැවති ආණ්ඩු සියල්ලක් විසින්ම එය පවත්වාගෙන ඇවිත් ඇත.
මෙම පනතෙහි ප්‍රජාතන්ත්‍රවිරෝධී, අමානුෂික ස්වභාවය හේතුවෙන් මෙය ජාතික සහ ජාත්‍යන්තරව අපකීර්තියට ලක් වූ අතර, මෙය වහා ඉවත් කළ යුතු බවට අප සංගමය ද ඇතුළුව ලාංකික සහ ගෝලීය මට්ටමේ, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ මානව හිමිකම් කොමිසමේ යෝජනා සම්මත වීම හරහා පවා විරෝධතා ව්‍යාපාර ගෙන යන ලදී.
එහෙත්, එම පනත වෙනස් වූ හැඩතල ඇතිව අදටත් ඒ අයුරින්ම ක්‍රියාත්මකව පවතී.
වර්තමාන ආණ්ඩුව ද ඇතුළුව බලයේ සිටි සියළු ආණ්ඩු, තම විරුද්ධවාදීන් මෙල්ල කිරීමට සහ ආරක්ෂක අංශ විසින් අයුතු ප්‍රයෝජන ගැනීම සඳහා මෙම පනත උපයෝගී කරගෙන ඇති බවට ඕනෑතරම් සාක්ෂි ඇත.
වර්තමානයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මෙම පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝගය මත තබාගෙන ප්‍රශ්න කෙරෙන හේතුව මත, මෙම පනත අහෝසි කළ යුතු බවට දකුණේ දේශපාලන පක්ෂ නායකයින් කෑ ගසන තත්ත්වයක් උදා වී ඇත. මෙයට සමාන්තරව, උතුරේ දෙමළ ගායකයෙකු මෙම පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් සමහර දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන උද්ඝෝෂනය කරමින් සිටී.
මෙහිදී, විශේෂයෙන් දකුණේ දේශපාලන පක්ෂ පසුගිය කාලයේ මෙම පනත ඔවුන්ද රැඳී සිටි ආණ්ඩු විසින් අයුතු ලෙස උපයෝගී කරගත් අවස්ථාවන් වලදී මුණිවත රකිමින් සිටි අතර, දැන් තම දේශපාලන වාසිය සඳහා එයට විරුද්ධව කෑමොර දෙන බව දක්නට ඇත. මොවුන්ට සැබැවින්ම ජනතාවගේ අයිතීන් ගැන උවමනාවක් ඇති බවට පෙනෙන්නේ නැත.
මෙරටෙහි සාමාන්‍ය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ මානුෂික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිම පාර්ලිමේන්තු දේශපාලන පක්ෂයකට කත් නොඅදින ස්වාධීන වෘත්තීය සමිතියක් වශයෙන් මෙම කුරිරු පනත වහා ඉවත් කර ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින අතර, අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයින් පිළිබඳ සාමාන්‍ය නීති යටතේ ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිමු.
මෙම පනත ඉවත්කොට මෙවැනි නව පනතක් ගෙන ඒම සඳහා ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ. මෙම නව පනතට, රජයට විරුද්ධ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලෙස නම් කොට ඇත.
අප සංගමයේ ස්ථාවරය වී ඇත්තේ එවැනි පනතක් ගෙන ඒමට අවශ්‍ය තත්ත්වයක් හෝ අවශ්‍යතාවයක් රට තුළ නොපවතින අතර, ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට රටෙහි ඇති අනෙකුත් නීති සහ අණපනත් ප්‍රමාණවත් බවය.

