කම්කරු නීති සංශෝධනයෙන් ගෘහ සේවක අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය කම්කරු නි.අමාත්‍යවරයාට යෝජනා බාරදෙයි
ගෘහ සේවකයන් ඇතුළු අවිධිමත් අංශයේ කම්කරුවන්ගේ වෘත්තීය සමිතියක් වන ප්‍රොටෙක්ට් සංගමය සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ අතර හමුවක් (13) දින කම්කරු අමාත්‍යංශයේදී පැවැත්වුණා.
මෙහිදී සංගමයේ සභාපති කරුපයියා මයිතිලී සහ සහභාගී වූ සාමාජිකයින් විසින් ගෘහ සේවකයන් සඳහා කම්කරු නීති වල අවශ්‍යතාවය පිළිබඳව පැහැදිලි කළා. සහභාගී වූ ගෘහ සේවකයින් විසින් කම්කරු අයිතිවාසිකම්, සමාජ ආරක්ෂණ නොමැති වීම තුළ ඔවුන් මුහුණ දෙන ගැටළු සහ අසාධාරණ පිළිබඳව අමාතයවරයා දැනුවත් කරන ලදී. එහිදී ගෘහ සේවකන් සඳහා කම්කරු නීති සකස් කිරීමේදී මතු වන ගැටළු සහ ඒ සඳහා යෝජිත ප්‍රතිචාර සහ ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව වන යෝජනාද භාර දෙන ලදී.
ගෘහස්ථ ශ්‍රමිකයන් ඇතුළු අවිධිමත් ශ්‍රමිකයන් අනෙකුත් කම්කරුවන් මෙන්ම අයිතිවාසිකම් සහිත කම්කරුවන් පිරිසක් බවට පත් කිරීමේදී සංගමයේ වන ඉල්ලීම් කිහිපයක් පිළිබඳව එහිදී අමාත්‍යවරයාට පැහැදිළි කරන ලදී.
කම්කරු නීති සංශෝධනය සඳහා පත් කර ඇති විශේෂඥ කමිටුවට ගෘහ සේවකයන්ගේ යෝජනා භාර දෙන බවත් ගෘහ සේවකයන් සඳහා කම්කරු නීති ආවරණයට ලබා දීමට අදාළ යෝජනා සැලකිල්ලට ගෙන ප්‍රයෝගිකව සකස් කළ හැකි නීති සකස් කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළා.
ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමටද අමාත්‍යවරයා එකඟ එකඟ වී තිබේ.
නීතිමය රාමුවක් මගින් ගෘහස්ථ සේවකයන් ආවරණය කිරීම සඳහා යෝජනා
ILO සම්මුතිය 189 මගින් ගෘහස්ථ සේවය සපයන්නකු සේවකයෙකු බව පිළිගෙන ඇති බැවින්, ගෘහස්ථ සේවකයෙකුට සුනිසි සේවය (decent work) ලබා දීමට නම් එම සම්මුතියේ ප්‍රතිපාදන අනුකුලව නීති රාමුව සැකසිය යුතු බව පැහැදිලිය. එනම් ,
- “ගෘහස්ථ සේවකයා” යෙදුම සඳහා පුළුල් අර්ථ දැක්වීමක් ලබාදී නේවාසික, දෛනික, අර්ධකාලීන, රැකබලා ගන්නන්, රියදුරන්, උද්යාන සේවකයන් සහ ගෘහ හෝ ගෘහස්ථ පදනම් වූ අනෙකුත් පුද්ගලික සේවකයන් ආවරණය කිරීම.
- ලිඛිත සේවා ගිවිසුමක් අනිවාර්ය කිරීම; වැටුප, සේවා කාලය, විවේකය, නිවාඩු, නවාතැන්, ආහාර, සේවය අවසන් කිරීමේ කොන්දේසි සහ පැමිණිලි ක්‍රමවේදය ඇතුළත් විය යුතුය.
- සේවායෝජකයා/ගෘහ මූලිකයා විසින් ගෘහස්ථ සේවකයකු සේවයහි යොදවන අවස්ථාවේදී ළඟම ඇති කම්කරු දෙපාර්තමේන්තු කාර්යාලයේ ලියාපදිංචි කළ යුතුය; එසේ කිරීමට අපොහොසත් වීම වරදක් ලෙස පිළිගත යුතුය.
- අවම වැටුප, අතිකාල දීමනා, සතිපතා විවේක දිනය, වාර්ශික නිවාඩු, අසනීප නිවාඩු සහ මාතෘ/පීතෘ ප්රතිලාභ නීතියෙන් සහතික කිරීම. ඔවුන්ගේ විශ්වාසය/ආගම්/ප්‍රජාව මත පදනම්ව අදාළ වන බවට ප්‍රකාශිත ව්‍යවස්ථාපිත නිවාඩු අදාළ විය යුතුය.
- සමාජ ආරක්ෂණයට ගෘහස්ථ සේවකයන් ඇතුළත් කිරීම.
- රැකියා අවසන් කිරීම සඳහා සාධාරණ හේතු, පූර්ව දැනුම්දීම, වන්දි සහ විනිශ්චය සභාව ප්‍රවේශය වේශය තහවුරු කිරීම.
- ILO සම්මුතිය අංක 190 අනුව ප්‍රචණ්ඩත්වය හා ලිංගික හිරිහැර තහනම් කර ආරක්ෂිත පැමිණිලි ක්‍රමවේදයක් සැකසීම.
- නේවාසික සේවකයන්ගේ පෞද්ගලිකත්වය, ලේඛන හා ජංගම දුරකථන රඳවා ගැනීම තහනම් කිරීම සහ නිදහස් ප්‍රවේශයට ඇති අයිතිය තහවුරු කිරීම.
- වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන් ගෘහස්ථ සේවයේ යෙදවීම අනතුරුදායක බවට පිළිගෙන කර ඇති තහනම් කිරීම පවත්වාගෙන යාම හා ළමා ශ්‍රම නීති සමඟ අනුකූලතාව තහවුරු කිරීම.
- කම්කරු පරීක්ෂණ, ලියාපදිංචිය, දත්ත රැස්කිරීම සහ විධිමත් පැමිණිලි විමර්ශන බලතල නීතියෙන් නියම කිරීම; පෞද්ගලික නිවසේ අයිතිවාසිකම් සහ සේවක ආරක්ෂාව අතර සමතුලිත ක්‍රමවේදයක් සැකසීම.
- වෘත්තීය සමිතිවලට සම්බන්ධ වීම, සාමූහික සාකච්ඡා කිරීම සහ වෙනස්කම් නොකිරීමේ අයිතිය සහතික කිරීම.
- විදේශීය හා සංක්‍රමණික ගෘහස්ථ සේවකයන්ට භාෂා අවබෝධය සහ නීතිමය සහාය ලබාදීම, නීති කටයුතු සඳහා රට තුල රැඳී සිටීමට අතෝ අයිතිය තහවරු කිරීම
- නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සංක්රාන්ති කාලසීමාවක්, මහජන දැනුවත් කිරීම සහ සරල ලියාපදිංචි ක්‍රමයක් හඳුන්වා දීම.
මෙම රාමුව ජාත්‍යන්තරයේ හොඳම භාවිතයන් (best practices) සමඟ පෙළගැස්විය හැකි අතර, කම්කරු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයෙන් සහ ILO හි තාක්ෂණික සහාය ඇතිව ජාතික මට්ටමේ කමිටුවක් විසින් එය සිදු කිරීම යෝග්‍ය බව පෙනී යයි.
| කල්ප මදුරංග

