ඔබගේ ජංගම දුරකථන, ලැප්ටොප් වැනි ඩිජිටල් උපාංග ආරක්ෂා කර ගන්නේ කෙසේද?
අපරාධකරුවන් Malvertising ලෙස හඳුන්වන ක්‍රමවේදය භාවිතා කරමින්, විශ්වාසදායක වෙබ් අඩවිවල පළ කරන දැන්වීම් හරහා ඔබව රැවටීමට උත්සාහ කරමින් සිටී.
අප බොහෝ දෙනා විද්‍යුත් තැපැල් (Email) හෝ කෙටි පණිවිඩ (SMS) මඟින් ලැබෙන සැක සහිත සබැඳි (Links) ක්ලික් නොකළ යුතු බව දනිමු. නමුත්, ඔබ විශ්වාස කරන වෙබ් අඩවියක නීත්‍යානුකූල ලෙස පෙන්වන අන්තර්ජාල දැන්වීම් ගැන ප්‍රවේශම් විය යුතුය.
එය Malvertising ලෙස හැඳින්වෙන සයිබර් අපරාධ ක්‍රමවේදයේ අවදානමයි. මෙම ක්‍රමය මඟින් අන්තර්ජාල දැන්වීම් භාවිතා කර අනිෂ්ට මෘදුකාංග (Malware) පතුරුවා හැරීම, පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම හෝ භාවිතා කරන්නන් ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු කිරීම සිදු කරයි.
මෙම ප්‍රහාරවල අරමුණු විවිධ වේ. සමහර සයිබර් අපරාධකරුවන් ඔබගේ ඊමේල්, සමාජ ජාල වේදිකා, ඩිජිටල් උපකරණ සදහා ඇතුලත් වීමට ඇති මුරපද වැනි (Login) තොරතුරු සොරකම් කිරීමට උත්සාහ කරන අතර, තවත් සමහරු ව්‍යාජ මෘදුකාංග (Fake Software) ස්ථාපනය කිරීමට ඔබව රැවටීමට හෝ වංචනික වෙබ් අඩවි වෙත යොමු කිරීමට උත්සාහ කරති. තවත් අවස්ථාවලදී, ඔබගේ පරිගණකය හෝ ජංගම උපාංගය අනිෂ්ට මෘදුකාංග (Malware) මඟින් ආසාදනය කිරීම ඔවුන්ගේ අරමුණ වේ.
Malvertising හඳුනාගැනීමට අවධානය යොමු කළ යුතු ලක්ෂණ
Malvertising හඳුනා ගැනීම සෑම විටම පහසු නොවුණත්, පහත ලක්ෂණ පිළිබඳ සැලකිලිමත් වන්න.
- වෙබ් පිටුවක් හදිසියේම ඔබගේ අවසරයකින් තොරව වෙනත් වෙබ් අඩවියකට යොමු වීම.
- අනපේක්ෂිත ලෙස Pop-up දැන්වීම් දිස්වීම.
- ඔබ කියවන අන්තර්ගතයට සම්බන්ධ නොවන හෝ සැක සහිත ලෙස පෙනෙන පෙළ දැන්වීම් (Text Ads).
- හදිසි මෘදුකාංග යාවත්කාලීන (Urgent Software Updates) සිදු කරන ලෙස ඉල්ලා සිටින දැන්වීම්.
- ඔබගේ අවසරයකින් තොරව ස්වයංක්‍රීයව ගොනු (Files) බාගත (Download) වීම.
Malvertising වලින් ඔබ ආරක්ෂා වන්නේ කෙසේද?
පහත ආරක්ෂක පියවර අනුගමනය කිරීමෙන් ඔබට අවදානම සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය.
- දිගු, ශක්තිමත් සහ අනන්‍ය මුරපද (Passwords) භාවිතා කරන්න.
- සෑම විටම බහු-සාධක සත්‍යාපනය (Multi-Factor Authentication - MFA) සක්‍රීය කරන්න.
- ඔබගේ මෙහෙයුම් පද්ධතිය (Operating System), වෙබ් බ්‍රවුසරය (Browser) සහ අනෙකුත් මෘදුකාංග නවතම යාවත්කාලීන (Updates) සමඟ පවත්වා ගන්න.
- කිසියම් අන්තර්ජාල දැන්වීමක් ක්ලික් කිරීමට පෙර දෙවරක් සිතන්න.
- සැක සහිත හෝ විශ්වාස කළ නොහැකි වෙබ් අඩවි වෙත පිවිසීමෙන් වළකින්න.

