පුවතක මූලාශ්‍ර හෙළිදරව් කරන මෙන් හෝමාගම සහකාර පොලිස් අධිකාරිවරයා සිදුකර ඇත්තේ අනිසි මැදිහත්වීමක් - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

fmm

2026 මාර්තු 05 වන දින ලංකාදීප පුවත්පතෙහි පළවූ ලිපියකට අදාළව බව පවසමින් ඒ සඳහා තොරතුරු ලබා දුන් ‍ප්‍රාදේශීය මාධ්‍යවේදියා සහ ඡායාරූප ශිල්පියාගේ අනන්‍යතාව හෙළිදරව් කරන මෙන් දන්වා හෝමාගම දිස්ත්‍රික් අංක තුන සහකාර පොලිස් අධිකාරී කාර්යාලයෙන් ලංකාදීප පුවත්පතට 2026 ජූනි 25 දිනැතිව ලිපියක් යොමු කොට තිබේ. ඒ සහකාර පොලිස් අධිකාරී එස්. ඒ. ආර් සමරකෝන්ගේ අත්සනින් යුක්තවය.

මාර්තු පස්වන දින පළවූ පුවත්පතෙහි පුවතක් අසත්‍යය බවට ඊට අදාළ දෙපාර්ශවයක් විසින් සිදුකළ පොලිස් පැමිණිල්ලක් ප්‍රකාරව මෙම ලිපිය යොමු කොට තිබේ.

අදාළ ලිපියෙහි සත්‍ය, අසත්‍යතාව පිරික්සීම සහ පිළිතුරු දීමේ අයිතිය භාවිතා කිරීම පුවත්පත් කර්මාන්තය පිළිගත් ක්‍රමවේදයන්ට අනුව සිදුකළ හැකිව තිබියදී පොලිසිය මැදිහත් වී ඇත්තේ අනිසි කටයුත්තකට බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මතයයි. ඇතැම් විට එසේ සිදුවන්නට ඇත්තේ පොලිසියේ නොදැනුවත්භාවය නිසා විය හැකිය. එහෙත් ජාතික පුවත්පතක පළවූ කිසියම් පුවතක් සම්බන්ධයෙන් මෙලෙස මැදිහත් වන්නට සහ අදාළ මාධ්‍යවේදීන්ගේ අනන්‍යතාව මෙන්ම ඒ ඔස්සේ මූලාශ්‍රද හෙළිදරව් කර ගැනීමට පොලිසිය කටයුතු කිරීම ඉතා බරපතල තත්ත්වයකි. ඒ තුළින් පුවත සම්පාදනය කළා මාධ්‍යවේදියා සහ ඡායාරූප ශිල්පියාට කිසියම් අනතුරක් හෝ විපතක් සිදුවුවහොත් එහි සමස්ත වගකීම පොලිසිය බාරගත යුතුය.  

මෙවැනි අවස්ථාවක අදාළ මාධ්‍ය ආයතනයෙන් පුවත ලියූ මාධ්‍යවේදියා හෝ ඡායාරූප ශිල්පියාගේ විස්තර ඉල්ලා සිටීමට පොලිසියට ඇති බලය කුමක්දැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රශ්න කරයි.

අදාළ පාර්ශ්වයද, පුවත අසත්‍ය වී නම් කළ යුතුව ඇත්තේ ලංකාදීප පුවත්පත අමතා පිළිතුරු දීමේ අයිතිය අනුව කටයුතු කරන මෙන් ඉල්ලා සිටීමයි. නැතහොත් පුවත්පත් පැමිණිලි කොමිසම වෙත යොමුවීම පහසුවෙන් කළ හැකියි. එසේ නොකිරීමද නොදැනුවත්කම නිසා සිදු වූවක් ලෙස කල්පනා කළ හැකිය.

එහෙත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරන්නේ හෝමාගම සහකාර පොලිස් අධිකාරීවරයා "බල්ලාගේ වැඩේ බූරුවා කරන්නට යෑම" වැනි කටයුත්තක නිරත වී ඇති බවයි.

එම නිසා මෙම සිදුවීම පොලිසිය තමන්ට අදාළ නොවන කටයුත්තකට අනිසි ලෙස මැදිහත්වීමක් සේ දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පුවතට අදාළ පාර්ශව වෙතින් වාර්තාකරණයේ නිරත වූ මාධ්‍යවේදියාට සහ ඡායාරූප ශිල්පියාට අනතුරක් සිදුවුවහොත් එහි වගකීම පොලිසිය භාරගත යුතු බවද අවධාරණය කරයි.