මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමත්, සේවා සැපයීමේ කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය ඉහළ නැංවීමත් අරමුණු කරගනිමින්, ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය සහායක (SKS) වෘත්තිකයින් 582 දෙනෙකුට දෙවන අදියර යටතේ පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් (18) දින මරදාන ටවර් පරිශ්‍රයේදී (Tower Halle) සිදු කෙරිණි.
මෙම බඳවාගැනීම මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ සුවිශේෂී අවස්ථාවක් වන අතර, කිසිදු දේශපාලනික මැදිහත්වීමකින් තොරව අයදුම්පත් කැඳවා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදය මත පදනම්ව සිදුකළ බඳවා ගැනීමකි. මෙය රාජ්‍ය සේවයේ විනිවිදභාවය, සාධාරණත්වය සහ කුසලතා පදනම් මත පත්කිරීම් ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කරන ආදර්ශමත් පියවරක් ලෙස ද පෙන්වා දිය හැකිය.
මෙම පත්වීම්ලාභී 582 කින් සමන්විත සෞඛ්‍ය කාර්ය සහායක කණ්ඩායම බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ස්ථාපිත මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුත්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, මෙම පත්වීම් ලබාදිමත් සමග සමස්ත ලංකාවම ආවරණය වන පරිදි කොළඹ සහ බස්නාහිර පළාතේ වැඩි කාලයක් සේවය කරන ලද සෞඛ්‍ය කාර්ය සහායක වෘත්තිකයින්ට දිවයින පුරා පිහිටි රෝහල්වලට ස්ථාන මාරුවීම් ලබාගැනීමට අවස්ථාව උදාවේ. ඒ අනුව පළමු සහ දෙවන වටයේ පත්වීම් ලබාදීම අනුව 550 ක පිරිසකට දවයින පුරා ස්ථාන මාරුවීම් ලබා ගැනීමට අවස්ථාව උදාකරදීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මෙම සෞඛ්‍ය කාර්ය සහායක කණ්ඩායම සදහා ද තෙදින විශේෂ ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් ලබාදීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සැලසුම්කර ඇති එම පුහුණව මගින් අවංක රාජ්‍ය සේවකයෙකු ලෙස මෙරට මහජනතාවට සේවය කිරිමට මූලික දැනුම ලබාදෙනු ලබයි.
පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නවක පත්විම්ලාභීන් සෞඛ්‍ය සේවාව සඳහා සුහඳව පිළිගන්නා බවත් අයදුම්පත් 92,000 ක් අතරින් සුදුසුකම් ලත් අයදුම්කරුවන් 89,000 ආසන්න ප්‍රමාණයක් අතරින් පළමු කණ්ඩායම ලෙස පළමු අදියර යටතේ සෞඛ්‍ය කාර්ය සහායකයින් 627 පත්වීම් ලබාදීමට කටයුතු කරන ලද බව පැවසීය. දෙවන අදියර යටතේ අද 582 කට පත්වීම් ලබාදීමත් සමග සෞඛ්‍ය කාර්ය සහායකයින් 1209 කට පත්වීම් ලබා දී අවසන් බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

