කිසිවෙකුට අසාධාරණයක් වන තීන්දු ගන්නේ නැහැ - කම්කරු ඇමැති සහ මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත

dr-anil-jayantha

මෑතකාලීනව සමාජයේ දැඩි කතාබහට ලක්වූ සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඒකාබද්ධ කිරීමක් සිදු කරනවාද එහි ඇත්ත නැත්ත කුමක්ද යන්න පිළිබඳව කම්කරු ඇමැති සහ මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත මහතා සමඟ සිදුකළ සාකච්ඡාවයි මේ.

EPF සහ ETF අරමුදල් ඒකාබද්ධ කරන්න යනවා කියලා මතයක් සමාජයේ පැතිරෙනවා. ඇත්තටම මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත ?

ඇත්තෙන්ම සමාජ මාධ්‍ය හරහා මේ යන අදහස සම්පූර්ණයෙන්ම වැරදි සහ ජනතාව නොමඟ යවනසුලු අදහසක්. මෙහි කිසිදු ඇත්තක් නැහැ.

එහෙනම් ආණ්ඩුව යෝජනා කරන්නේ මොකක්ද ?

මේකයි, ඇත්ත කතාව, දැනට මේ අරමුදල්වල පරිපාලන කටයුතු සිද්ධ වෙන්නේ ස්ථාන තුනකින්. සේවක අර්ථසාධක අරමුදල ගත්තොත්, ඒකේ අරමුදල් පරිපාලනය කරන්නේ මහ බැංකුවෙන්. නමුත්, ඒකේ අනෙකුත් පරිපාලන කටයුතු තියෙන්නේ කම්කරු දෙපාර්තමේන්තුව යටතේ. සේවක භාරකාර අරමුදල ගත්තොත්, ඒකේ පරිපාලනය කම්කරු දෙපාර්තමේන්තුව යටතේ තිබුණට හිමිකාරිත්වය තියෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ. නමුත්, මේ අරමුදල් දෙකේම පරිපාලන කටයුතුවල ස්වභාවය එක සමානයි. සේවකයන්ගේ මුදල් නිසි පරිදි ලැබුණාද, ඒවා ආයෝජනය කරලා ප්‍රතිලාභ ලබා දෙනවාද කියන කාරණා තමයි පරිපාලනය වෙන්නේ. ඒ නිසා අරමුදල් දෙක එහෙමම තියෙද්දී, ඒ පරිපාලනමය කටයුතු එක යන්ත්‍රණයක් ඇතුළේ කරන්න පුළුවන්ද කියන එකයි අපි සලකා බලන්නේ.

ඔබ සඳහන් කරන ඒ කාර්ය කුමක්ද ඒ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද ?

අපි මේ කාර්යය සඳහා තාක්ෂණය එකතු කරගන්නවා. මේ පරිපාලන කටයුතු තාක්ෂණය හරහා ඒකාබද්ධ කරන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරලා වාර්තාවක් දෙන්න කියලා විතරයි. එයයි කැබිනට් මණ්ඩලය අනුමත කළේ. ඒ හැරෙන්න මේ වැඩේ කරන්න කියලවත්, අරමුදල් ඒකාබද්ධ කරන්න කියලවත් නෙමෙයි. අරමුදල් දෙක ඒකාබද්ධ කරන්න කිසිම නීතිමය පදනමකුත් නැහැ, කාටවත් එහෙම හිතුවක්කාර තීරණ ගන්න අවශ්‍යතාවකුත් නැහැ. මේ වාර්තාව හදන්න අමාත්‍යාංශ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා.

ඇත්තටම මේ ක්‍රමයෙන් වාසි ගොඩක් තියෙනවා. එකම ආකාරයේ වැඩක් කණ්ඩායම් තුනකින් කරනවට වඩා එක කණ්ඩායමකින් කරනකොට සම්පත් සහ සේවක ප්‍රමාණය අඩුවෙන් පාවිච්චි කරලා කාර්යක්ෂමතාව වැඩි කරගන්න පුළුවන්. එතකොට පරිපාලනයට යන අනවශ්‍ය වියදම් ගොඩක් අඩු වෙනවා වගේම, ඒකෙනුත් සේවකයන්ට ලොකු වාසියක් ලැබෙනවා. දැනට කම්කරු දෙපාර්තමේන්තුවෙන් නම් ගම් ටික මහ බැංකුවට යවනකොට අකුරක දෙකක වැරැද්දක් වුණොත්, සේවකයන්ට විශ්‍රාම යනකොට තමන්ගේ සල්ලි ගන්න බැරිවෙන තත්ත්වයක් තියෙනවා. සමහර අයගේ සල්ලි සෑහෙන කාලයක් එකම තැන හිරවෙලා තියෙනවා. හැබැයි එක යන්ත්‍රණයක් තිබුණම මේ වගේ පරිපාලන ගැටලු, ප්‍රමාදයන් සහ අඩුපාඩු ඉතා වේගයෙන් නිවැරදි කරලා සේවකයන්ට හිමි මුදල් කාර්යක්ෂමව ලබාදෙන්න පුළුවන් වෙනවා.

ඊට අමතරව මේ අරමුදල් කියන්නේ මේ රටේ සේවකයන්ගේ සල්ලි නිසා, ඒවා දැනටමත් මහා භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වැනි දේවල ආයෝජනය වෙන ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කරගන්නත් මේකෙන් පුළුවන්. අතීතයේදී වගකීමක් නැතුව කටයුතු කිරීම නිසා පාඩු වෙච්ච අවස්ථා තිබුණත්, මේ යන්ත්‍රණය හරහා ආයෝජන කටයුතු ඉතාමත් වගකීමෙන් යුතුව කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම පරිපාලනයට තාක්ෂණය මැදිහත් කරගත්තාම, සේවකයකුට තමන්ගේ අරමුදලේ ශේෂය බලාගන්න කම්කරු දෙපාර්තමේන්තුවටම ඇවිත් රස්තියාදු වෙන්න ඕනේ නැහැ. ගෙදර ඉඳන්ම මොබයිල් ෆෝන් එකෙන් ඒක බලාගන්න පහසුකම් හැදෙනවා. අනිත් කාරණය තමයි විශ්‍රාම යන්න කලින් හදිසි අවශ්‍යතාවලට මුදල් ගන්න ගියාම තියෙන පරිපාලන ගැටලු සහ දුෂ්කරතා නිසා සමහරු හොර ලියකියවිලි පවා හදනවා. නමුත් මේ විදිහට පාරදෘශ්‍ය ක්‍රමවේදයක් හැදුවාම ඒ සිදු වෙන අපහසුතාවන් සහ අලාභයන් සම්පූර්ණයෙන්ම අවම කරලා සේවකයන්ට හොඳ සේවාවක් සපයන්න පුළුවන් වෙනවා.

මේ පරිපාලන කටයුතු එකතු කළොත් සේවකයන්ට ලැබෙන වාසි මොනවාද ?

ඇත්තෙන්ම වාසි ගොඩක් තියෙනවා. සමාජ මාධ්‍ය හරහා EPF සහ ETF අරමුදල් ඒකාබද්ධ කරන්න යනවා කියලා යන අදහස සම්පූර්ණයෙන්ම වැරදි, නොමඟ යවනසුලු එකක්. මෙතැනදී අරමුදල් දෙක ඒකාබද්ධ කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ, මොකද එහෙම කරන්න කිසිම නීතිමය පදනමක්වත් අවශ්‍යතාවක්වත් නැහැ. දැනට EPF එකේ අරමුදල් පාලනය මහ බැංකුවෙනුත්, අනෙකුත් පරිපාලන කටයුතු කම්කරු දෙපාර්තමේන්තුවෙනුත් සිද්ධ වෙනවා. ඒ වගේම ETF පරිපාලනයත් වෙනම සිදු වෙන නිසා, ස්ථාන තුනකින් වෙන මේ පරිපාලන කටයුතු එකම යන්ත්‍රණයක් යටතට ගේන්නයි අපි උත්සාහ කරන්නේ. කැබිනට් එකෙන් අනුමත කළෙත් මේ වැඩේ එකපාරටම කරන්න නෙවෙයි, තාක්ෂණයත් යොදාගෙන මේ පරිපාලන කටයුතු එකම යන්ත්‍රණයකින් කරන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරලා වාර්තාවක් ලබාදෙන්න විතරයි. ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවකුත් පත් කරලා තියෙනවා. අප ඒ කමිටු තීරණයෙන් පිට කිසිදු තීරණයක් ගන්නේ නැහැ. අපට අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ යන්ත්‍රණය වඩාත් ඉක්මන් සහ ප්‍රතිඵලදායක ක්‍රියාවලියක් බවට පත් කිරීමයි.

අතීතයේදී වගකීම් රහිතව කටයුතු කිරීම නිසා අරමුදලට පාඩු වූ අවස්ථා තිබුණා නේද ?

ඔව්. එවැනි හානිකර අවස්ථා මඟහැරීම තමයි අපේ අලුත් ක්‍රමවේදයේ අරමුණ බවට පත්ව තිබෙන්නේ. ඊට අමතරව මේ අරමුදල් පරිපාලනය කිරීමේදී ආයෝජන කටයුතු වඩාත් වගකීමෙන් සහ විධිමත්ව සිදු කරන්නත් පුළුවන් වෙනවා. අතීතයේදී යම් යම් අවස්ථාවල වගකීමක් නැතුව කටයුතු කිරීම නිසා පාඩු සිදු වුණත්, මෙවැනි විධිමත් යන්ත්‍රණයක් හරහා සේවකයන්ගේ මුදල් ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම තාක්ෂණය භාවිත කරලා සේවකයන්ට තමන්ගේ අරමුදල්වල ශේෂයන් පහසුවෙන්ම බලාගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කළාම, පරිපාලන දුෂ්කරතා නිසා සිදුවන හොර ලියකියවිලි සෑදීම්, රස්තියාදු වීම් සහ අලාභයන් සම්පූර්ණයෙන්ම වළක්වාගන්න පුළුවන් වෙනවා. මේ සියලු කටයුතු සම්බන්ධයෙන් අදාළ සියලුම පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කරලා වඩාත් හොඳ තීරණයකට එන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.

ඒත්, විපක්ෂය සහ සමහර වෘත්තීය සමිති මේක අල්ලගෙන ලොකු අසත්‍ය ප්‍රචාරයක් ගෙනියනවා නේද ?

ඔව්, විපක්ෂය ඕනෑම දෙයක් දේශපාලනිකව මතු කරගන්න උත්සාහ කරනවා. ඔවුන් මේක විවාදයට ලක් කරනවා නෙමෙයි, සම්පූර්ණ අසත්‍යයක් සමාජගත කරන්නයි උත්සාහ කරන්නේ. කරුණු විකෘති කරලා දක්වනවා. හැබැයි සේවකයන්ගේ පැත්තෙන් බැලුවම මේ වගේ බයක් ඇතිවෙන්නත් සාධාරණ හේතු තියෙනවා. ඔවුන් තුළ බියක් තිබෙනවා පැරැණි ආණ්ඩු කාලවල සිදු වූ දේවල් නැවත වෙයි කියන සැකය. ඒ නිසා තමයි මේ පිළිබඳව සමාජය තුළ කතාබහක් ඇතිවෙලා තිබ‍ුණෙ.

ඔබ කියන ඒ අතීත අත්දැකීම් මොනවාද ?

අතීතයේදී මහ බැංකු බැඳුම්කර වංචාවේ පාඩුව ගෙව්වෙත් EPF සල්ලිවලින්. ඒ වගේම ඒ කාලේ හිටපු දේශපාලනඥයෝ සහ මහ බැංකු අධිපතිවරයා මැදිහත් වෙලා EPF, ETF අරමුදල්වලට බලපෑම් කරලා ‘Pump and Dump’ (පම්ප් ඇන්ඩ් ඩම්ප්) උපායමාර්ගය පාවිච්චි කරලා සමාගම්වල කොටස්වල ආයෝජනය කරවලා සල්ලි වංචා කරපු ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම 2011 අවුරුද්දේ රොෂේන් චානක ඝාතනයට තුඩු දුන්න පෞද්ගලික විශ්‍රාම වැටුප් ගැටලුව වගේ දේවල් නිසා සේවකයෝ බය වෙන එක සාධාරණයි. ඒ නිසා මේ අරමුදල් ගැන කතා කරනකොටම ආයෙත් හොරකමක් කරන්න යනවද කියන සැකය ඔවුන්ට එනවා. විපක්ෂය පාවිච්චි කරන්නේ අන්න ඒ තත්ත්වයයි. නමුත්, අපි අවධාරණයෙන් කියනවා අපේ අරමුණ මේ අරමුදල් සුරක්ෂිත කිරීම පමණයි කියලා.

ඔබ ඩිජිටල්කරණය ගැනත් සඳහන් කළා. ඒ හරහා මේකට මොන වගේ මැදිහත්වීමක්ද වෙන්නේ ?

රාජ්‍ය හෝ පෞද්ගලික ඕනෑම පරිපාලන කටයුත්තකදී තාක්ෂණයට විශාල මෙහෙවරක් කරන්න පුළුවන්. දත්ත හුවමාරුවට විතරක් නෙමෙයි, දත්ත විශ්ලේෂණය කරන්නත් තාක්ෂණය උදවු වෙනවා. මේ හරහා මහජනතාවට විශාල පාරදෘශ්‍යභාවයක් ලැබෙනවා. උදාහරණයක් විදිහට තමන්ගේ EPF, ETF කීයද කියලා බලන්න කම්කරු දෙපාර්තමේන්තුවට එන්න ඕනේ නැහැ, ගෙදර ඉඳන් මොබයිල් ෆෝන් එකේ ඇප් එකකින් බලාගන්න පුළුවන් ක්‍රමයක් හැදෙනවා. අනාගතයේදී තමන්ගේ මුදල් (උදාහරණයක් විදිහට ලක්ෂ 10ක් තියෙනවා නම්) භාණ්ඩාගාර බිල්පත්වලද, වෙනත් තැනකද ආයෝජනය කරන්නේ කියලා සේවකයාටම උපදෙස් දෙන්න පුළුවන් ක්‍රමවේදයක් ගේන්න පුළුවන්. දැනට ඒක තීරණය කරන්නේ ආයෝජන උපදේශන මණ්ඩලයකින්. ඒ වගේම හදිසි අවශ්‍යතාවකට සේවකයන්ට විශ්‍රාම යන්න කලින් මුදල් ගන්න ගියාම තියෙන පරිපාලන දුෂ්කරතා නිසා සමහරු හොර ලියකියවිලි පවා හදනවා. තාක්ෂණය හරහා ඒ අපහසුතාවන් මඟහැරලා පහසුවෙන් සේවා සපයන්න පුළුවන්.

ඇතැම් ආයතනවල තියෙන පෞද්ගලික අර්ථසාධක අරමුදල්වලට මේකෙන් බලපෑමක් තියෙනවාද ?

නැහැ, මේ සාකච්ඡාව යන්නේ දැනට තියෙන ප්‍රධාන සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ගැන විතරයි. දැනට අනුමත වෙලා තියෙන පෞද්ගලික අර්ථසාධක අරමුදල් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා, ඒවා ගැන කිසිම තීන්දුවක් අරගෙන නැහැ.

ඇතිව තිබෙන කතිකාවත පිළිබඳව අවසාන ලෙස සඳහන් කළ හැක්කේ කුමක්ද?

කමිටු වාර්තාව ආවට පස්සේ අපි ඒක වෘත්තීය සමිති ඇතුළු සියලුම පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කරනවා. මේක කවුරුත් තනියම ගන්න තීරණයක් නෙමෙයි. සාකච්ඡා කරලා අඩුපාඩු තියෙනවා නම් වැඩිදියුණු කරනවා. හැබැයි වෘත්තීය සමිති මේක එපාමයි කියනවා නම්, අපි මේක කරන්නේ නැහැ, පරණ ක්‍රමයටම යනවා. අපි කිසිම විදිහකින් සේවකයන්ට අසාධාරණයක් වෙන තීන්දුවක් ගන්නේ නැහැ. ඒ නිසා දේශපාලනඥයන් කියන දේවල්වලට වඩා මේ සත්‍ය තොරතුරු මත තීරණ ගන්න කියලා මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

| උදිත ගුණවර්ධන (dinamina.lk)

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image