සමාගම්වල නොසැලකිල්ල පිළිබඳ බොරු ප්‍රකාශ නිවැරදි කිරීම - වාණිජ හා කාර්මික සේවක සංගමය (CIWU)

parawasivam-puspalatha-ciwu

2026 අගෝස්තු 7 වන දින පැවති ජාතික කම්කරු උපදේශක සභා (NLAC) රැස්වීමේ දී ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ (JAAF) නියෝජිත යොහාන් ලෝරන්ස් මහතා විසින් කරන ලද ඇතැම් වැරදි ප්‍රකාශ නිවැරදි කිරීම මෙම නිවේදනය මගින් වාණිජ හා කාර්මික සේවක සංගමය (CIWU) අපේක්ෂා කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

CIWU ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජිකයකු නොවන බැවින් ලෝරන්ස් මහතා කළ ප්‍රකාශවලට ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දැක්වීමට අපට බල කෙරුණි.

අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවය කරමින් සිටියදී මියගිය සේවිකා පරමසිවම් පුෂ්පලතාට යුක්තිය පතා ඉදිරියට ගෙනයන ජාතික හා ජාත්‍යන්තර උද්ඝෝෂණ ව්‍යාපාරය රටට ‘නරක නාමයක්’ ගෙන එන බවට ලෝරන්ස් මහතා ප්‍රකාශ කර ඇති බව අපට වාර්තා විය. නිව්යෝර්ක් නුවර වීදි දක්වා පැතිර ඇති එම උද්ඝෝෂණ ව්‍යාපාර හරහා CIWU ව ‘ජාතික ආරක්ෂාව අනතුරේ’ හෙළන බවට ප්‍රකාශ කළ බවද වාර්තා විය. මෙම කාරණය අභ්‍යන්තරව විසඳාගත යුතුව තිබූ බව සමහරුන් ප්‍රකාශ කළ බවටද වාර්තා විය. එවිට ලෝරන්ස් මහතා ප්‍රකාශ කර ඇත්තේ අපට එම කර්මාන්ත ශාලාවේ සාමාජිකයන් පවා නොමැති බවත් මානව හිමිනම් කොමිසම පවා බ්‍රැන්ඩික්ස් නාමය නිවැරදි කර ඇති බවත්ය. මෙම ප්‍රකාශ සමහරක් විනෝදාත්මක වුවත් ඒවා බරපතල චෝදනා වන නිසා ඒවා ගැන පැහැදිළි කිරීමට කැමැත්තෙමු. මන්ද යත් JAAF හි සාමාජිකයන් සහ අනෙක් ශ්‍රී ලාංකික සමාගම් ඔවුන්ගේම සේවකයින් කෙරෙහි දක්වන නොසලකා හැරීම මෙම සිදුවීම මගින් පිළිබිඹු කරන බැවිනි.

පරමසිවම් පුෂ්පලතා 2025 ඔක්තෝබර් 10 වන දින මියගියාය. ඇය මිය යාමට පෙර වෙනත් සේවිකාවන් තිදෙනෙකුට පවසා තිබුණේ ඇය සේවය කළ අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවයට වාර්තා කළ පසු ඇයට අසනීප තත්වයක් මතු වූ නිසා ගෙදර යාමට අවසර ඉල්ලූ නමුත් ඇගේ සුපවයිසර්වරිය ඇයට අවසර දීම ප්‍රතික්ෂේප කර ඇගේ නිෂ්පාදන ඉලක්ක සම්පූර්ණ කරන කරන ලෙස පැවසූ බවයි. පුෂ්පලතා සහෝදරිය එදින ඇසින් දුටු සේවිකාවක වාර්තා කළේ ඇය උදෑසන 6.45 ට පමණ සික් රූම් එකේදී පුෂ්පලතාව දුටු බවයි. එදින උදෑසන 6.45 සිට සවස 5.30 දක්වා ඇය කර්මාන්ත ශාලාවේ රැඳී සිට ඇත. ඇයගේ සේවා මුරය අවසන් වීමට ආසන්නව තිබියදීයි පාලකයන් ඇයව අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබුණේ. ඊට පැය කිහිපයකට පසු ඇය එදිනම මිය ගියාය.

පුෂ්පලතාගේ මරණයෙන් පසු සමාගම තවත් බරපතල නොසලකා හැරීමක් සිදු කළේය. ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලද්දේ බ්‍රැන්ඩික්ස් සමාගමේ පෞද්ගලික කොන්ත්‍රාත් සේවයේ යෙදී සිටි අධිකරණ වෛද්‍ය නිලධාරිණියක විසිනි. එය දැඩි ලබැඳියාවන් අතර ගැටුමකි. අවිස්සාවේල්ල පොලිසිය බ්‍රැන්ඩික්ස්ට එරෙහිව අපරාධ පැමිණිලි දෙකක් විභාග කළ අතර ඔවුන් අද වන විට පරමසිවම් පුෂ්පලතාගේ සැමියාට මෙම කාරණය බ්‍රැන්ඩික්ස් සමග සමථයකට පත් කර ගැනීමට බල කරමින් සිටී. මරණ පරීක්ෂණය මුලින් ගොනු කරනු ලැබුවේ එය විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති අධිකරණයකය. රුවන්වැල්ල පොලිසිය අධිකරණයට ව්‍යාජ කරුණු සහිත ‘බී’ වාර්තාවක් ගොනු කර තිබුණි. පොලිසියේ ක්‍රියාමාර්ග නිවැරදි කිරීම සඳහා පුෂ්පලතාගේ පවුල වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට මැදිහත් වීමට සිදු විය. පරමසිවම් පුෂ්පලතාගේ මරණය විමර්ශනය කරන ලෙස ඉල්ලා CIWU ව පැමිණිලි කරන තෙක් කම්කරු දෙපාර්තමේන්තුව මෙම මරණය ගැන දැන සිටියේ නැත. ආයෝජන මණ්ඩලය නිදාගෙන සිටි අතර අවදි වූයේ බ්‍රැන්ඩික්ස් පිළිබඳව මානව හිමිකම් කොමිසමට අසත්‍ය ප්‍රකාශ අඩංගු ලිපියක් ලිවීමට පමණි.

පුෂ්පලතාගේ මරණය, රටක කාර්මික අංශ සංවර්ධනය කරන විට ඒවායේ සේවය කරන සේවකයින්ගේ ආරක්ෂාවට වඩා සමාගම්වල ලාභ පිනවීමට කටයුතු කරන බවට හොඳ උදාහරණයකි. පුෂ්පලතාගේ සිද්ධිය, සමාගම් විසින් සේවකයන්ගේ වෘත්තීය සෞඛ්‍යය සහ ආරක්ෂාව, සේවා ස්ථානයේදී සිදුකරන හිරිහැර සඟවන ආකාරය සහ සේවකයින් දිනපතා මුහුණ දෙන අනාරක්ෂිත වැඩ පරිසරයන් තුළ රාජ්‍ය ආයතන නොදැනුවත්කම, සහ පාලකයන් සමග හවුල්කාරිත්වයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ සංකේතයකි.

සේවකයන් ගැන සොයා බැලිය යුතු අපගේ රාජ්‍ය ආයතන දිගු කලක් තිස්සේ කම්කරුවන් නොසලකා හරිමින් සිටී. යුක්තිය ලබා ගැනීම සඳහා වසර ගණනාවක් බලා සිටීමේ හැකියාව කම්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට නොමැත. එබැවින්, බ්‍රැන්ඩික්ස් වැනි දැවැන්ත සමාගම් විසින් කම්කරුවන්ගේ හඬ නිහඬ නොකරන පරිදි, දේශීයව සහ ජාත්‍යන්තරව මහජන බලපෑමක් ගෙන ඒම සඳහා CIWU වැනි වෘත්තීය සමිති, උද්ඝෝෂණ ව්‍යාපාර ගොඩනඟමින් සිටියි. එවිට මෙම ආයතන අතින් නරක ඉරණමට ලක්වන කම්කරුවන්ට යුක්තිය ලබා ගත හැකිය. එවිට අනෙකුත් සේවකයින්ට එකම ඉරණමකට මුහුණ දීමට සිදු නොවේ.

සමාගම්, අධිරාජ්‍යයන් ජාත්‍යන්තරව නිදහසේ ගොඩනගා ගන්නා අතර, පුෂ්පලතා වැනි සේවකයින්ගේ ශ්‍රමයෙන්  තැනූ නිෂ්පාදන ගෝලීයව ප්‍රචාරය කරයි. බ්‍රැන්ඩික්ස් සහ ඔවුන් නිෂ්පාදනය කරන සන්නාම සමාගම් ගෝලීයව එසේ ප්‍රචාරය කරමින් සිටිද්දී ඔවුන් අපිට කියන්නේ අපි ‘කට වහගෙන’ අපගේ සේවකයින් නිහඬව සූරාකෑමට ඉඩ දෙන ලෙසද@ වෘත්තීය සමිතිවලට එසේ පැවසීමට ඔවුන් කවුද? CIWU ව නිව්යෝර්ක්හි වෘත්තීය සමිති සංවිධානය නොකරයි. සැපයුම් දාමයේ සේවකයින්ට විනීතව සහ මානව ගරුත්වයෙන් සලකන ලෙස සමාගම්වලින් ඉල්ලා සිටීමට නිව්යෝර්ක්හි වෘත්තීය සමිති ගෝලීයව සංවිධානය වෙමින් සිටිති.

වෘත්තීය සමිති සහ මානව හිමිකම් කොමිසම වැනි රාජ්‍ය ආයතනවල කටයුතු පිළිබඳව වැරදි ප්‍රචාර නවත්වන ලෙස අපි ආයෝජන මණ්ඩලය වෙතින් ඉල්ලා සිටිමු. පුෂ්පලතාගේ පවුලට සාධාරණ හා යුක්ති සහගත වන්දි ගෙවීමක් සාකච්ඡා කිරීමට සහ එවැන්නක් නැවත ඇති නොවන බව සහතික කිරීම සඳහා ගිවිසුමකට එළඹීම පිණිස බ්‍රැන්ඩික්ස් සමාගම CIWU ව සමගම සෘජු සාකච්ඡා අරඹන ලෙස අපි ඉල්ලා සිටිමු. සේවකයන්ට සංවිධානය වීමේ නිදහසට ඉඩ දෙන ලෙස අපි බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ඉල්ලා සිටිමු. 2020 වසරේ දී කොවිඩ් මරණය සහ 2025 දී පුෂ්පලතාගේ මරණය වැනි දේ නැවත සිදු නොවීම සදහා අවශ්‍ය කටයුතු සිදුකිරීම පිණිස බ්‍රැන්ඩික්ස් සේවකයන්ට වෘත්තීය සමිති පිහිටුවීමේ නිදහස ලබා දෙන ලෙස අප බ්‍රැන්ඩික්ස් සමාගමට බල කරමු.

අපගේ අපනයන නැඹුරු ආර්ථිකය තුළ, අප සැමට ප්‍රාග්ධනය නිර්මාණය කරන්නේ සමාගම් නොව එම සමාගම්වල වැඩ කරන සේවකයන්ය. සමාගමක් තම සේවකයන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වූ අවස්ථාවකදී එය ලබා නොදුන් විට ඔවුන් මිය යන්නේ නම් එය සේවකයන්ට සිදුවන හිංසනයක් ලෙස අප සලකමු. එම සමාගම නොසැලකිලිමත්කම නිසා එම ප්‍රචණ්ඩත්වය ගැන වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කරන විට, අපි එය යුක්තියේ නොසලකා හැරීමක් ලෙස සලකමු.

වගකිවයුතු වෘත්තීය සමිතියක් ලෙස, CIWU ව මෙම අසාධාරණය එයට හේතු වූ සමාගම විසින් නිවැරදි කරන තෙක් සහ වෙනත් කිසිදු සේවකයෙකුට එම අසාධාරණයට ලක්වීමට සිදු නොවන තෙක් අපි දිගටම සටන් කරන්නෙමු.

2026 අගෝස්තු 15

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image