යෝජිත ‘ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන’ වැඩපිළිවෙළ ප්‍රායෝගික කර ගැනීම දැවැන්ත අභියෝගයක් – වෛද්‍ය හසංගි හේවා නාලගමගේ

primary-health-care

මේ මාතෘකාවට අදාළ පදනම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා ජාතික ජන බලවේගය රැළියක දී සිය අදහස් පළ කළේය. මෙහි දී ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් සඳහා නව ප්‍රවේශ ආකෘතියක් සකස් කර ඇති බව ජනපතිවරයා ප්‍රකාශ කළ අතර, මෙහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කර, රෝගීන් විශේෂඥ වෛද්‍යවරුන් සහ රෝහල් වෙත යොමු වීම විධිමත් කිරීම බව ද පැවසුවේය.

යෝජත නව ප්‍රවේශය යටතේ නව ආරෝග්‍ය මධ්‍යස්ථාන 1000ක් රට පුරා ස්ථාපිත කර, පවුල් සඳහා වෛද්‍යවරයෙක් බැගින් නම් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බව ජනපතිවරයා කීවේය. ඒ අනුව ප්‍රධාන රෝහලකට හෝ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යාමට පෙර ප්‍රාථමික වෛද්‍යවරයාගෙන් අනුමැතියක් හෝ යොමු කිරීමක් ලබා ගැනීම අනිවාර්ය වන බව ද ජනපති දිසානායක පැවසුවේය.

නව සංකල්පය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපති දිසානායක වැදගත් හෙළිදරව්වක් ද කළේය. ඔහුට අනුව ලංකාවේ ජනගහනය මිලියන 22ක් වුවත් වාර්ෂිකව රජයේ රෝහල් වල බාහිර රෝගී අංශ වෙත යොමු වන පිරිස මිලියන 80කි. මේ වෙනුවෙන් අති විශාල මුදලක් වැය කිරීමට රජයට සිදුව ඇති අතර එය පාලනය කර ගැනීම ජාතික අවශ්‍යතාවකි.

මෙවැනි ක්‍රමවේදයක් රටවල් ගණනාවක ක්‍රියාත්මක වීම ද විශේෂත්වයකි. මහා බ්‍රිතාන්‍ය වැනි දියුණු සංවර්ධිත රටවල මෙන්ම කියුබාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ද ශ්‍රී ලංකාව සඳහා යෝජිත සෞඛ්‍ය ආකෘතිය ක්‍රියාත්මක වේ. මෙම රටවල උපදෙස් හා මාර්ගෝපදේශකත්වය ලබා ගෙන අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව රජය ප්‍රකාශ කර ඇත.

රජයේ නව ප්‍රවේශයට අදාළ නියමු ව්‍යාපෘති කිහිපයක් ද මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අතර ඒ සම්බන්ධ වීඩියෝ වැඩසටහනක් ද රජය විසින් නිකුත් කර ඇත.

වෛද්‍යතුමියනි, පසුගිය දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශය, එසේ නොමැති නම් හෙළිදරව්ව සමඟ යෝජිත ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රවේශය සම්බන්ධයෙන් සමාජය තුළ සංවාදයක් ආරම්භ වී තිබෙනවා. ඇතැම් පාර්ශ්ව මේ සම්බන්ධයෙන් සැකයෙන් බලනවා, ඒ වගේම තවත් පිරිසක් මේ වැඩපිළිවෙළට සහයෝගය පළ කරනවා. ඒ වගේම තවත් පිරිසක් කියන්නේ මේ වැඩපිළිවෙළ හරහා දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය සේවාව කප්පාදු කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක විය හැකි බවයි. මගේ ප්‍රශ්නය වන්නේ මේ වැඩපිළිවෙළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ද ?, එහිදී මුහුණ දීමට සිදුවිය හැකි අභියෝග මොනවා ද ?

| වෛද්‍ය හසංගි හේවා නාලගමගේ

අලුත් ආකෘතිය ගැන කතා කිරීමට පෙර මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන ආකෘතිය ගැන කතා කළ යුතුයි. එවැනි සාකච්ඡාවක් පමණයි අලුත් ආකෘතිය ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ.

මේ වන විට ලංකාවේ ජාතික රෝහල් තුනක් තිබෙනවා. ඒ වගේම ශික්ෂණ රෝහල් 20ක් පමණ තිබෙනවා. විශේෂ රෝහල් 17ක්, දිස්ත්‍රික් රෝහල් 20ක් සහ මූලික රෝහල් 100ක් පමණ ලංකාවේ තිබෙනවා. මෙන්න මේවා තමයි අපි ‘ලොකු රෝහල්’ කියලා හඳුන්වන්නේ. ජනාධිපතිතුමා කියන ආකාරයට මිලියන 80ක් ජනතාව බෙහෙත් ගන්න යන්නේ මේ කියන රජයේ රෝහල් 138ට. ඒ කියන්නේ අපිට ප්‍රධන රෝහල් 138යි තියෙන්නේ.

මීට අමතරව ලංකාවේ ග්‍රාමීය රෝහල් පද්ධතියක් තිබෙනවා. ඇඳන් 100ට වඩා තිබෙන මේ රෝහල් 66ක් අපට තිබෙනවා. ඒ වගේම B සහ C කාණ්ඩයේ රෝහල් තිබෙනවා. මේ සමස්ත රෝහල් සංඛ්‍යාව 488ක්. මේ රෝහල් බොහොමයක් තිබෙන්නේ ඈත පළාත්වල.

ග්‍රාමීය රෝහල් ගැන යම් පැහැදිලි කිරීමක් කළොත්, එහි වෛද්‍යවරු ඉන්නවා, හෙද සේවයක් තිබෙනවා, වාට්ටු තිබෙනවා. ඒ වගේම රසායනාගාරයක් වගේම ෆාමසියකුත් මේ රෝහල්වල තිබෙනවා. පොදුවේ ගත්විට මේ රෝහල්වල විශාල කාර්ය මණ්ඩලයක් ඉන්නවා.

උදාහරණයක් ලෙස පිළියන්දල ග්‍රාමීය රෝහල සහ කඳාන ග්‍රාමීය රෝහල ගන්න පුළුවන්. මේවා A ශ්‍රේණියේ රෝහල්. කඳාන රෝහලේ වෛද්‍යවරු 25 දෙනෙක් සේවය කරනවා. ඒ වගේම ලංකාවේ Primary Medical Care Unit – PMCU ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 551ක් ලංකාවේ දුෂ්කර පළාත්වල තිබෙනවා.

එතකොට ජනාධිපතිවරයා කියන ‘ආරෝග්‍යා’ සෞඛ්‍ය මධ්‍යස්ථාන දැනට 39ක් තිබෙනවා, තවත් 42ක් හදා ගෙන යනවා. ආරෝග්‍යා මධ්‍යස්ථානයක වෛද්‍යවරයෙක් ඉන්නවා, හෙද කාර්ය මණ්ඩලයක් ඉන්නවා. මේක සම්පූර්ණ පදනම් කරලා තියෙන්නේ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකත් එක්ක. මේක දෛනිකව ප්‍රතිකාර කිරීමේ, බෙහෙත් දීමේ අරමුණ ඇතිව කළ දෙයක් නොවෙයි. මෙහි අරමුණ වන්නේ බෝ නොවන රෝගීන් වෛද්‍ය සායනවලට යොමු කිරීමයි. වැඩිහිටියන්, ඒ වගේම තව දුරටත් ප්‍රතිකාර කිරීම තුළින් සුවපත් කළ නොහැකි රෝගීන් මිය යන තෙක් රැක බලා ගැනීම තමයි දැනට ක්‍රියාත්මක වන ආරෝග්‍යා මධ්‍යස්ථානවල අරමුණ. මේ වන විට ක්‍රියාත්මක වන මධ්‍යස්ථාන 39 තුළින් බලාපොරොත්තු වන අරමුණත් එ්ක.

නමුත් පසුගිය දා ජනාධිපතිතුමා කිව්වේ ඒකයි මේකයි මිශ්‍ර කරලා හදන එකක් ගැන නෙමෙයි. ජනාධිපතිතුමා කිව්වේ ‘සම්පූර්ණයෙන්ම රෝගී සත්කාරයට කැපවුණු මධ්‍යස්ථාන 1000ක්’ පිළිබඳවයි.

අපේ අදහසක් තිබෙනවා Gate Keeping ගේ නිර්දේශයකින් තොරව ලොකු ඉස්පිරිතාලෙකට යන්න බැහැ කියලා. අපි ඒකට කියනවා Gate Keeping System එකක් කියලා. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම සාමාන්‍ය වෛද්‍යවරයෙකු හරහා යා යුතුයි. ඒ අවස්ථාව නම් ලංකාවට තවම හිතන්න පුළුවන්කමක් නැහැ.

ඒකට හේතුව තමයි GP Gate Keeping System එකක් තියා ගන්න නම් අදාළ පළාතේ, ප්‍රදේශයේ ඉන්න රෝගීන් අපට ලියාපදිංචි කර ගැනීමට සිද්ධ වෙනවා. එසේ ලියාපදිංචි කර ගත් පසු මට (සාමාන්‍ය වෛද්‍යවරයාට) හැකියාවක් තිබිය යුතුයි මේ වාර්තා නඩත්තු කරන්න.

(Gate Keeping System – සෞඛ්‍ය සේවාවේ දොරටු පාලන පද්ධතියක් යනු, ප්‍රාථමික සත්කාර වෛද්‍යවරයෙකු / Primary Care Physician හෝ සාමාන්‍ය වෛද්‍යවරයෙකු (General Practitioner – GP) පළමු සම්බන්ධතා ස්ථානය ලෙස ක්‍රියා කරන අතර වෛද්‍ය විශේෂඥයින් හෝ උසස් රෝහල් ප්‍රතිකාර සඳහා ඕනෑම සංචාරයක් සඳහා අවසර දිය යුතු ක්‍රියාවලියකි)

දැන් ජනාධිපතිතුමා කියන ආකාරයට අපි ආරෝග්‍යා ඒකක 1000ක් ස්ථාපිත කළොත් ඒ එක ඒකකයකට කොපමණ ජනගහණයක් ඇතුළත් විය යුතු ද ? කියන ප්‍රශ්න එනවා. ජනාධිපතිතුමාම කියන ආකාරයට පුද්ගලයින් 22,000ක් එක ඒකකයකට ඇතුළත් විය යුතුයි.  එතකොට අපිට අඩු ගානේ මේ ලිපිගොනු 22,000වත් තියා ගන්න කාර්යාලයක් හොයා ගන්න පුළුවන් ද ? කියන ප්‍රශ්න ඇති වෙනවා.

නමුත් මට හිතෙන ආකාරයට, මේ යෝජනාව  පියවරෙන් පියවර හෝ යා යුතු ඉතාම හොඳ යෝජනාවක්. එක්සත් ජනපදය වැනි රටවල් කිහිපයක් හැර ලෝකයේ බොහෝ රටවල් මේ ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මහා බ්‍රිතාන්‍ය තුළ ඉතාම හොඳ සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වුණක් එහි Gate Keeping System එකක් නැහැ. එහි දී  ජාතික සෞඛ්‍ය සේවාවට යනවා නම් සාමාන්‍ය වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් තිබිය යුතුයි. නමුත් ඕනෑම වෛද්‍යවරයෙකුට පුද්ගලික සෞඛ්‍ය සේවා උපදේශනයක් ලබා දෙන්න හැකියාව තිබෙනවා. ඒ අනුව රෝගියාට විකල්ප අවස්ථා තිබෙනවා. තීරණයක් ගැනීමේ අයිතිය ඔහුට තිබෙනවා.

ගැටලුවක්

මෙහි දී වැදගත් කරුණක් අවධානයට ගත යුතුයි. මේ වන විට අපේ රාජ්‍ය සෞඛ්‍ය සේවාව සතුව සෞඛ්‍ය ඒකක 1000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. නමුත් ආණ්ඩුව යෝජනා කරන නව ක්‍රමයට ඇයි මේ පද්ධතිය යොදා නොගන්නේ ?. ඒකක 1000ක් අප සතුව තිබිය දී අලුතින් ඒකක 1000ක් හදන්න අවශ්‍ය ද ?. ආණ්ඩුව යෝජනා කරන ආකාරයට අලුතින් ඒකක 1000ක් ඉදිකිරීමට විශාල භෞතික සම්පත් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ සියල්ලටම වඩා බරපතළ ප්‍රශ්නය තමයි අලුතින් ස්ථාපිත කිරීමට යෝජිත ඒකක 1000ට අලුතින් කොපමණ කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කළ යුතුයි ද ?. එතැන බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා.

ඒ නිසා ‘මීට පස්සේ මෙහෙම කරන්න බැහැ’ කියන කතාව කිසිම ප්‍රායෝගිකත්වයක් නැති කතාවක්. අනෙක් කාරණය තමයි මේ ආකාරයේ නව ඒකක 1000ක් හැදුවා කියලා හිතමු. නමුත් මේ ඒකකයකට ආසන්න වශයෙන් පුද්ගලයින් 22,000ක් ඇතුළත් වෙනවා. මේසා විශාල පිරිසක් සම්බන්ධයෙන් නිසි පසු විපරමක් කරන්නේ කොහොමද ? කියන ප්‍රශ්නය ඊට පස්සේ එනවා.

ඒ වගේම තමයි, අපි අවුරුදු 40කට ආසන්න කාලයක් පුරා මේ ආකාරයේ ක්‍රමවේදයක් ගැන සාකච්ඡා කරමින් සිටිනවා. නමුත් ඇයි ඒක කර ගන්න බැරි, ඇයි ඒක මේ තරම් ප්‍රමාද වුණේ ?. ඇයි මීට පෙර බලයේ සිටි ආණ්ඩුවලට මේ ආකාරයේ GP සිස්ටම් එකක් හදන්න නොහැකි වුණේ ?. ඒකට හේතුව තමයි මේ අවශ්‍යතාව තිබෙන තැන්වල අපිට වඩාත් හොඳ රෝහල් පහසුකම් සහ හොඳ සෞඛ්‍ය සේවයක් පවත්වා ගෙන යාමේ පහසුකම් අදටත් නැහැ.

මේක පැහැදිලි කර ගන්න පුළුවන් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවම ගන්න පුළුවන්. බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය  සේවාව අනුව ඔබට GPගේ නිර්දේශයකින් තොර ජාතික රෝහල් පද්ධතියට යන්න බැහැ. නමුත් හදිසි අවස්ථාවක දී ඕනෑම රජයේ රෝහලකට ඇතුළත් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාව අදාළ රෝගියා GPගෙන් හමුවක් ලබා ගත යුතුයි. ඔහු තමයි රෝගියා හමු වන වේලාව තීරණය කරන්නේ.  GP රෝගියා පරීක්ෂා කළ පසු ඔහුට ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය රෝහල හෝ විශේෂ ප්‍රතිකාර ඒකක කුමක් ද ? කියලා සොයා බලලා අදාළ අංශයට රෝගියාව යොමු කරනවා.

GPට මේ ආකාරයෙන් රෝගියෙක් යොමු කිරීමට නම් ඔහු සතුව තිබෙන ලියාපදිංචි ලේඛනයේ අදාළ රෝගියා, පුද්ගලයා ලියාපදිංචි වී සිටිය යුතුයි. ඒ වගේම GP විසින් ඊ මේල් පණිවිඩයක් හරහා  අදාළ දැනුවත් කිරීම කළ යුතුයි. මේ ආකාරයේ ක්‍රමයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ.

පහසුකම් විශාල ප්‍රමාණයක් අවශ්‍යයි

මේ ක්‍රමය පවත්වා ගෙන යාමට නම් විශාල පහසුකම් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ වගේම ග්‍රාමීය රෝහල් කොපමණ ප්‍රමාණයක් නිවස ආසන්නයේ තිබුණත් ජනතාව පුරුදු වෙලා ඉන්නේ ඊට වඩා පහසුකම් ඇතැයි සිතන ශික්ෂණ රෝහලකට යන්න. ඒක තමයි යථාර්ථය, අපි පිළිගත යුතු භූමියේ සිදුවන දේ.

අපි පැහැදිලිව දන්නවා ප්‍රාථමික සෞඛ්‍ය සායනවලට බොහෝ දෙනෙක් යන්නේ නැහැ. මූලික රෝහලට බොහෝ විට යන්නෙත් නැහැ. මේ ආකාරයෙන් සෞඛ්‍ය සේවයේ විශාල සම්පත් නාස්තියක් සිදු වෙනවා. ඒක භෞතික සම්පත් නාස්තියක් පමණක් නොවෙයි, විශාල මානව සම්පත් නාස්තියකුත් සිදුවෙනවා. මිල අධික අනවශ්‍ය පරීක්ෂණ විශාල ප්‍රමාණයක් කිරීමට සිදුවෙනවා. මෙය පිටුදැකිය යුතු තත්ත්වයක්. ඒ නිසා අපේ භෞතික හා මානව සම්පත් උපරිම කාර්යක්ෂමතාවකින් ප්‍රයෝජනයට ගන්න නම් යම්කිසි ආකාරයක Gate Keeping System එකක් අවශ්‍යයි කියලා අපි පිළිගන්නවා.

(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධාන කරන ‘කතිකාව’ සංවාද මාලාවේ ‘රජයේ රෝහල් සඳහා යෝජිත ප්‍රවේශ ආකෘතිය ප්‍රායෝගික ද?’ නම් තේමාව යටතේ පැවැති කතිකාවේ දී වෛද්‍ය හසංගි හේවා නාලගමගේ මහත්මිය ඉදිරිපත් කළ අදහස්  ඇසුරින් තුෂාල් විතානගේ විසින් සම්පාදිත ලිපියකි.)

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image