රජය ප්‍රකාශ කරන පරිදි ‘ආරෝග්‍යා’ මධ්‍යස්ථාන 1000ක් ස්ථාපිත කිරීමේ දී අවශ්‍ය වන්නා වූ පුහුණු හෙද කාර්ය මණ්ඩලයක් ප්‍රමාණවත් ලෙස සිටිනවා ද ?, ඒ වගේම රජයේ යෝජිත සැලසුම සම්බන්ධ ඔබගේ අදහස කුමක්ද ?
මම හෙද නිලධාරිනියක් ලෙස වසර 30කට අධික කාලයක් සේවය කරනවා. මම එදා සේවයට එද්දී තිබුණාට වඩා රෝහල්වල පහසුකම් වැඩි වෙලා, දියුණු වෙලා තිබෙනවා. ප්‍රතිකාර ක්‍රම වැඩි දියුණු වෙලා තිබෙනවා. සමස්තයක් ලෙස භෞතික හා මානව සම්පත් දියුණු වෙලා තිබෙනවා. මේ ආකාරයේ විශාල දියුණුවක සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදු වුණත් සමස්ත ප්‍රතිඵලය දියුණු වුණා ද කියන ප්‍රශ්නය තිබෙනවා.
සමස්ත ප්‍රතිඵලය කියලා කියන්නේ, අපි සෞඛ්‍ය සේවය තුළින් බලාපොරොත්තු වෙන්නේ නිරෝගීමත් ජනතාවක්. නිරෝගීමත් ජනතාවක් බිහි කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් කරන බලපෑම ඒ නිසා වැදගත්. ප්‍රශ්නය තමයි නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවෙන් මේ රටේ බදු ගෙවන ජනතාව ගෙවන මුදලට ප්‍රමාණවත් සේවයක් ලැබෙනවා කියන එක ගැටලුවක්.

| ඊෂා කප්පරගේ
අන්න ඒකට උත්තරයක් ලෙස මේ යන ක්‍රමයම දිගටම පැවතුණොත් අපට කවදාවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනසක් දකින්න නොහැකි වෙයි. මගේ අත්දැකීම් අනුව බැලුවොත් පසුගිය අවුරුදු තිහේම මම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලොකු වෙනසක් දැක්කේ නැහැ. රෝගීන් එනවා – සුව වෙලා යනවා පමණයි. ලොකු අනතුරක් වෙලා රෝහල් ගත වුණට පස්සෙත් ඔවුන් සුව වෙලා යනවා. නමුත් දියවැඩියාව, හෘද රෝග සම්බන්ධයෙන් තත්ත්වය ගැන සෑහීමට පත්වෙන්න බැහැ. අද බෝ නොවන රෝගීන් වෙනුවෙන් විශාල වියදමක් දරනවා.
ඒ නිසා මම හිතනවා මෙවැනි ක්‍රමයක් තුළින් වෙනසක් කරන්න පුළුවන් නමුත්. අවශ්‍යතා නිසි ලෙස හඳුනා ගත යුතුයි. එවැනි නිවැරදි හඳුනා ගැනීමක් තුළින් භූමිය තුළ නිවැරදිව බීජය රෝපණය කළ යුතුයි. එසේ කරන්න පුළුවන් නම් ප්‍රතිඵලය යහපත් වෙයි කියලා මම හිතනවා.
මානව සම්පත
මේ වැඩපිළවෙළ ක්‍රියාත්මක කිරීමේ දී මානව සම්පත තීරණාත්මක කොන්දේසියක්. ලංකාවේ මේ වන විට හෙද හෙදියෝ 43,000ක් පමණ සිටිනවා. නමුත් අවශ්‍යතාව 64,000ක් පමණ වෙනවා. මෙතන විශාල අඩුවක් තිබෙනවා. වාර්ෂිකව හෙද විදුහල්වලින් පිට වෙන හෙදියන්ගෙන් මේ අඩුව පුරවන්න බැහැ. ඒ වගේම ප්‍රජා සෞඛ්‍ය හෙදියෝ ඉන්නේ 200ක පමණ පිරිසක්. වසරක ප්‍රජා සෞඛ්‍ය හෙදියෝ 500ක් පමණ පුහුණු කරනවා. නමුත් ඔවුන් අනුයුක්ත කර ගන්න වෙන්නේ සාමාන්‍ය හෙදියන්ගෙන්. ඒකට හේතුව තමයි ප්‍රජා සෞඛ්‍ය හෙදියක් ලෙස පත්වීම් ලැබීමට අයදුම් කිරීමට හැකි වෙන්නේ අවුරුදු දෙකක සේවා කාලයක් තිබෙන හෙදියන්ට පමණයි.
ලංකාව පුරා අරෝග්‍යා මධ්‍යස්ථාන 1000ක් ස්ථාපිත කරන්නේ නම් ප්‍රජා සෞඛ්‍ය හෙදියෝ 2000ක් පමණ අවශ්‍ය වෙනවා. මේ වන විටත් රෝහල් වල හෙද හෙදියන්ගේ පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ තත්ත්වය නිසා මේ වන විට සේවයේ නිරතව සිටින හෙද හෙදියෝ ඉතාම අවිවේකී ජීවිතයක් ගත කරන්නේ. ඇතැම් අයට මාසයකට දින 13ක් පමණ රාත්‍රී සේවය කිරීමට සිදුවෙලා තිබෙනවා. මේ තත්ත්වය ඔවුන්ට ඍණාත්මකව බලපානවා.
මේ තත්ත්වය තුළ ඔවුන්ට තවත් බරක්, වගකීමක් දුන්නොත් හෙද සේවයට යොමු වන පිරිස තවත් අඩු වේවි. වර්තමානයේ දී හෙද සේවයට අයදුම් කිරීමේ සැලකිය යුතු අඩුවක් තිබෙනවා. රාත්‍රී සේවය තිබෙන, නිදිමරණ, අසීරු රැකියාවලට වර්තමානයේ තරුණ පරපුර වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් වඩාත් කැමති අඩු ශ්‍රමයකින්, පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් රැකියාවලට. ඒ නිසා වර්තමානය වන විට හෙද සේවයට අලුතින් පැමිණීම අධෛර්යමත් වෙලා තිබෙන්නේ.
ඵලදායීතාවය අඩු වීම
හෙද සේවයට අලුතින් ප්‍රමාණවත් තරම් බඳවා ගැනීමකින් තොරව, අඩු ශ්‍රමයකින් මේ වගේ භාරදූර කටයුත්තක් කරන්න ගියොත් එහි ඵලදායීතාව අඩු වෙනවා. මේ වන විට ප්‍රජා සෞඛ්‍ය හෙද හෙදියන් අතර අතෘප්තිය වර්ධනය වෙනමින් තිබෙනවා. ඔවුන්ට අනුව රෝගීන් ගැන අවශ්‍ය ප්‍රමාණයට සොයා බලන්න, තමන්ගේ පවුලේ අය ගැන අවශ්‍ය තරම් සොයා බලන්න ඔවුන්ට ප්‍රමාණාවත් කාලයක් නැහැ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධර මත ලංකාවේ ළමා හා මාතෘ සෞඛ්‍ය විශාල වශයෙන් දියුණු වෙලා තිබෙනවා. වර්තමානය වන විට තමා පදිංචි ගමේ මෘත සායනයේ ලියාපදිංචි නොවූ කිසිම ගර්භණී කාන්තාවට රජයේ රෝහලකට යන්න බැහැ. එවැනි ක්‍රමවත් වැඩපිළිවෙළක් මේ වන විට ලංකාවේ ක්‍රියාත්මක වෙනවා.
ඒ වගේම මාතෘ සායනයේ පොත ඇතුළු ලිපි ගොනු සෑම පවුලකම වැදගත් ලේඛන බවට පත්වෙලා තිබෙනවා. ලංකාව අද මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් විදිහටයි. මේ තත්ත්වය තව දුරටත් ක්‍රමවත් හා ඵලදායී කිරීමට අවශ්‍ය ආරම්භය කුමනාකාරයෙන් හෝ ලබා දිය යුතුයි. එවැනි වැඩපිළිවෙළක් ආරම්භ කළොත්, ඒක ජනතාවට විශාල සේවයක් වෙයි කියලා මම හිතනවා.
තොරතුරු තිබෙනවා
ගමේ මාතෘ සානයේ පොත කොතරම් වැදගත් දෙයක් ලෙස සලකනවා ද කිව්වොත් උතුරු – නැගෙනහිර අවතැන් ජනතාවගේ සීමිත ලිපි ගොනු අතර මේ කාඩ් පත තිබුණ බව වාර්තා වෙනවා.
ඒ වගේම තමයි ගමේ පවුල් සෞඛ්‍ය සේවා නිලදාරිනිය ඇයට අදාළ ප්‍රදේශයේ සියලු තොරතුරු දන්නවා. ඒ සම්බන්ධ වාර්තා ඇය සතුව තිබෙනවා. ගමේ දරුවන් සංඛ්‍යාව, ගර්භණී කාන්තාවන් සංඛ්‍යාව, කිරි දෙන මවුවරු සංඛ්‍යාව ආදි සියලු තොරතුරු ඇය සතුව තිබෙනවා. දියවැඩියා රෝගීන් කවුද, ආබාධිත පුද්ගලයින් කවුද කියලා ඇය දන්නවා.
මෙවැනි තොරතුරු තිබෙනවා නම් ඒවා විධිමත් ක්‍රමවේදයකට ගොනු කරලා දත්ත වශයෙන් සුරක්ෂිත කිරීම, යාවත් කාලීන කිරීම කළ යුතුයි. එවැනි ක්‍රමයක් තිබෙනවා නම් හදිසි ආපදා තත්ත්වයක දී ඉතාම වැදගත් වෙනවා. එවැනි දත්ත තිබෙන විට අදාළ රෝගීන්ට අවශ්‍ය බෙහෙත්, හදිසි ප්‍රතිකාර ආදිය ලබා දෙන්න වැඩපිළිවෙළක් හදන්න පුළුවන්.
මේ දත්ත විධිමත් ලෙස එකතු කිරීම, විශ්ලේෂණය කිරීම, ගබඩා කිරීමට සැලකිය යුතු පිරිවැයක් දැරීමට සිදුවෙනවා. නමුත් යම්කිසි පිරිවැයක් දරමින් හෝ එවැනි විධිමත් ප්‍රජා සෞඛ්‍ය දත්ත පද්ධතියක් පවත්වා ගෙන යාම ඉතාම වැදගත්.
ග්‍රාමීය රෝහල් මුහුණපාන ගැටලු
ග්‍රාමීය රෝහල් සම්බන්ධයෙන් ගත් විට තත්ත්වය තරමක් සංකීර්ණයි. බොහෝ දෙනෙක් ග්‍රාමීය රෝහල්වල සේවයට යන්න කැමති නැහැ. වෛද්‍යවරුන් වුණත් කැමැති වඩාත් පහසුකම් තිබෙන නාගරික රෝහල්වලට. මේ තත්ත්වයට පිළියම් යෙදිය යුතුව තිබෙනවා. මේ නිලධාරීන්ට ප්‍රමාණවත් පහසුකම් හෝ දිරිගැන්වීමක් ලබාදීමට පියවර ගැනීම තුළින් ඔවුන් ග්‍රාමීය රෝහල් වෙත ආකර්ෂණය කර ගන්න පුළුවන්.
ප්‍රජා සෞඛ්‍ය හෙද ගැටලු
ප්‍රජා සෞඛ්‍ය හෙදියන්ගේ තත්ත්වයත් ධනාත්මක නැහැ. ඔවුන් වසරක පුහුණුවක් ලබා ප්‍රජා සෞඛ්‍ය හෙදියන් ලෙස සේවය කළත් ඔවුන්ට අමතර වටිනාකමක් ලැබී නැහැ, ඔවුන් කරන අසීරු, දුෂ්කර සේවයට අමතර වටිනාමක්, ඇගයීමක් ලැබී නැහැ. මේ තත්ත්වය තුළ ඔවුන් කොපමණ කාලයක්, දුරක් යයි ද කියලා හිතන්න බැහැ. ඒ නිසා ප්‍රජා සෞඛ්‍ය හෙද හෙදියන්ට යම් ඇගයීමක්, වටිනාකමක් ලබා දෙන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.
හැරවුම් ලක්ෂයක් අවශ්‍යයි
ලංකාවේ ළමා හා මාතෘ සෞඛ්‍ය ඉතා ඉහළ තත්ත්වයක් පවතින බව ලෝකයම පිළිගන්නවා. ලංකාවේ එන්නත්කරණ වැඩසටහන් 99%ක්ම සාර්ථකයි. නමුත් තවත් බොහෝ අංශවලින් ඉදිරිය යා යුතුව තිබෙනවා. ඒ නිසා අපට හැරවුම් ලක්ෂ්‍යයක් තිබිය යුතුයි. ඒ නිසා මම හිතනවා ආරෝග්‍යා වැඩපිළිවෙළ ගැන මීට වඩා විධිමත් සොයා බැලීමක්, අධ්‍යයනයක් සිදුවිය යුතුයි කියලා.
සබැඳි පුවත්
විශේෂයෙන් මහජන සෞඛ්‍ය සේවයේ අති විශාල මුදලක් නිකරුණේ නාස්ති වෙනවා, අපතේ යනවා. යම්කිසි තිරසාර, ඵලදායී වැඩපිළිවෙළක් තුළින් මේ නාස්තිය අවම කර ගැනීමට හැකි නම් ආරෝග්‍යා වැඩපිළිවෙළට අමතර මුදලක් වැය කළා කියලා අමතර බරක් දැරීමට සිදුවෙන්නේ නැහැ. ආරම්භක අවස්ථාවේ දී සැලකිය යුතු මුදලක් වැය කිරීමට සිදු වුණත් දීර්ඝ කාලීනව එය ඵලදායී වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒත් ඒක නිවැරදිව ක්‍රියාත්මක වුණොත් පමණයි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධාන කරන ‘කතිකාව’ සංවාද මාලාවේ ‘රජයේ රෝහල් සඳහා යෝජිත ප්‍රවේශ ආකෘතිය ප්‍රායෝගික ද?’ නම් තේමාව යටතේ පැවැති කතිකාවේ දී වෛද්‍ය හසංගි හේවා නාලගමගේ මහත්මිය ඉදිරිපත් කළ අදහස් ඇසුරින් තුෂාල් විතානගේ විසින් සම්පාදිත ලිපියකි.
