ලංකා වතු සේවා සංගමය හලාවත වැවිලි සමාගම සමග අත්සන් තැබෙන 2026 - 2029 සාමූහික ගිවිසුම සැප්තැම්බර් 11 දින පස්වරුවේ රාජගිරියේ පිහිටි ලංකා සේව්‍ය සම්මේලන මූලස්ථානයේදී අත්සන් තබණු ලැබීය. ගිවිසුමට අනුව හලාවත වතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සමස්ත වැටුප් වැඩිවීම 30% කි. ඒ අනුව මෙම වැටුප් වැඩිවීම 2026 අගෝස්තු 01 දින සිට ක්‍රියාත්මක වන අතර එම මාසයේදී සේවයේ නිරතව සිටි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා මෙවර ගිවිසුමේ ප්‍රතිලාභ හිමිවනු ඇත.
ගිවිසුමට අනුව පළමු වර්ෂය (2026) තුළ 25% කින් හා අවසාන වර්ෂයේදී (2028) 5% කින් මූලික වැටුප වැඩිවීම, ජීවන වියදම් දීමනාව :ඣඛ්* රුපියල් 10,000/- මූලික වැටුපට එකතු කිරීම, වාර්ෂික වැටුප් වර්ධකය 20% කින් ඉහළ දැමීම, ගෙවල් කුලී දීමනාව 16% කින් සහ වැඩ ආවරණ දීමනාව 20% කින් ඉහළ දැමීම, මරණාධාර දීමනාව රුපියල් 200,000/- දක්වා ඉහළ දැමීම, ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවකුට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන තෙක් මාසිකව ලබා දෙන දීමනාව රුපියල් 5,000/- දක්වා ඉහළ දැමීම, 10 වසරේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන දරුවකුට මාසිකව ලබා දෙන දීමනාව රුපියල් 5,000/- ක් දක්වා ඉහළ දැමීම, විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමුවන දරුවකුට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාල සීමාව තුළ මාසිකව ලබා දෙන දීමනාව රුපියල් 7,500/- දක්වා ඉහළ දැමීම ඇතුළු ප්‍රතිලාභ රැසක් මෙවර සාමූහික ගිවිසුමෙන් වතු කාර්ය මණ්ඩල සාමාජිකත්වය වෙත ලැබෙනු ඇත.
ලංකා වතු සේවා සංගමය වෙනුවෙන් එහි සභාපති සෙල්ලදුරේ මනෝහරන්, ප්‍රධාන ලේකම් චතුර සමරසිංහ, භාණ්ඩාගාරික පාලිත බණ්ඩාර වන්සේකර, සහකාර ලේකම් ස්ටැන්ලි ගල්හේන යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තැබූ අතර හලාවත වැවිලි සමාගම වෙනුවෙන් එහි සභාපති චන්දන දිසානායක, සාමාන්‍යාධිකාරී ආර්.එම්.ජේ.සී.කේ. මඩවල, සහකාර සාමාන්‍යාධිකාරී (ගිණුම්) ආර්.එම්.ආර්.බී. රත්නායක, සහකාර සාමාන්‍යාධිකාරී (වතු) ඒ.එන්.ඒ.එස්. කරුණාතුංග යන මහත්වරුන් අත්සන් තබනු ලැබීය.
හලාවත වැවිලි සමාගම සමග අත්සන් තැබූ සාමූහික ගිවිසුම වෘත්තීය ක්‍රියාමාර්ගයකින් තොරව කාර්මික සාමය ආරක්ෂා කරමින් අත්සන්කර ගැනීමට තම සංගමයට හැකිවීම ජයග්‍රහණයක් බවත් මේ සඳහා කැපවීමෙන් ක්‍රියාකල සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ඇතුළු නායකත්වයට සහ සංගමයේ කාර්ය මණ්ඩලයටත්, හලාවත වැවිලි සමාගමේ සභාපති චන්දන දිසානායක මහතා ප්‍රමුඛ කළමණාකාරීත්වයට තම ප්‍රණාමය පුදකරන බව ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා වතු සේවා සංගමයේ සභාපති සෙල්ලදුරේ මනෝහරන් මහතා කියා සිටියේය.
මෙම වැටුප් වැඩිවීම මෑත ඉතිහාසයේ හලාවත වැවිලි සමාගමේ කාර්ය මණ්ඩලය ලැබූ ඉහළම වැඩිවීම බවත්, ඒ සඳහා සාකච්ඡා තුලින් එකඟතාවයකට පැමිණීමට හැකිවීම තම සංගමය මෙන්ම හලාවත කලමණාකාරීත්වය ලැබූ ජයග්‍රහණයක් බවත් මේ ගැන අදහස් පලකල ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චතුර සමරසිංහ මහතා කියා සිටියේය.
මෙම අවස්ථාවට සේව්‍ය සම්මේලනය නියෝජනය කරමින් නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ජෙනරාල් අදිල් කාසිම්, ජ්‍යෙෂ්ඨ කාර්මික සබඳතා උපදේශිකා උපේක්‍ෂා විමලවීර, කාර්මික සබඳතා උපදේශිකා දිනුත්‍රී නුගේගොඩ සහ ලංකා වතු සේවා සංගමයේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.පී. සෝමරත්න යන මහත්ම මහත්මීන් සහභාගී විය.


