මව්බිම - සිලෝන් ටුඩේ සේවකයින්ට සාධාරණය ඉටු කරන ලෙස මාධ්‍ය සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

mawbima-ceylon-today

මව්බිම - සිලෝන් ටුඩේ පුවත්පත්වල මාධ්‍යවේදීන් ඇතුළු සේවක මණ්ඩලය මුහුණ දී සිටින බරපතළ වෘත්තීය ගැටලු සහ අසාධාරණ රැකියා අහිමි කිරීම් පිළිබඳව එහි සේවකයින්ට සාධාරණය ඉටුකරගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙළේ වෘත්තීය මාධ්‍ය සංවිධාන කිහිපයක එකමුතුවක් ලෙස පහත අත්සන් තබන අපි සිලෝන් නිව්ස්පේපර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයට අයත් ‘මව්බිම’ සහ ‘සිලෝන්ටුඩේ’ පුවත්පත්වල මාධ්‍යවේදීන් ඇතුළු සේවක පිරිස මේ වන විට මුහුණ දී සිටින අතිශය අසාධාරණ සහ නීතිවිරෝධී වෘත්තීය ගැටලු මාලාවක් කෙරෙහි ඔබතුමියගේ කාරුණික හා කඩිනම් අවධානය යොමු කරනු පිණිස මෙම ලිපිය යොමු කරන්නෙමු.

පවත්නා තත්ත්වය හමුවේ මව්බිම - සිලෝන් ටුඩේ පුවත්පත්වල මාධ්‍යවේදීන් ඇතුළු සේවක මණ්ඩලය පහත සඳහන් බරපතළ ගැටලුවලට මුහුණ දී සිටින බව අප සාමූහිකය වෙත වාර්තා වී ඇත:

1. වෘත්තීය අයිතීන් උල්ලංඝනය කරමින් රැකියා අහිමි කිරීම: මෙරට පවත්නා කම්කරු නීති-රීති සහ සේවක අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය වන පරිදි, කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොරව මාධ්‍යවේදීන් ඇතුළු සේවක පිරිසකගේ මාස ගණනාවක වැටුප් හා සේවක අර්ථසාධක මුදල් නොගෙවීමට, රැකියා අහිමි කිරීමට සහ සේවක පාරිතෝෂික නොගෙවීමට සිලෝන් නිව්ස්පේපර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයේ පාලනාධිකාරිය කටයුතු කර ඇති බව.

2. ආයතනයට ඇතුළු වීම අවහිර කිරීම: පෙර කියා ඇති පරිදි දැනට රැකියා අහිමි නොකරන ලද සේවකයින් හට තමන් සේවය කරනු ලබන ආයතන පරිශ්‍රය වෙත ඇතුළු වීම පවා අසාධාරණ ලෙස සිලෝන් නිව්ස්පේපර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් පාලනාධිකාරිය විසින් බලහත්කාරයෙන් අවහිර කර තිබෙන බව.

3. මව්බිම - සිලෝන් ටුඩේ පුවත්පත්වල මාධ්‍යවේදීන් ඇතුළු සේවක මණ්ඩලයේ සේවා අවසන් කිරීම පිළිබඳ සිලෝන් නිව්ස්පේපර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත් නොකිරීම: සේවකයින් ආයතනයට ඇතුළු වීම වැළැක්වීමට ගෙන ඇති මෙම අත්තනෝමතික ක්‍රියාමාර්ගය කම්කරු දෙපාර්තමේන්තුව වෙත හෝ වෙනත් කිසිදු අදාළ රාජ්‍ය බලධාරියෙකු වෙත සිලෝන් නිව්ස්පේපර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය විසින් පූර්ව දැනුම් දීමකින් තොරව සිදු කර ඇති බව.

රටේ නීතිය, කම්කරු නීති සහ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගරුත්වයබරපතල ලෙස කෙලෙසමින්, අත්තනෝමතික බලයක් ආරෝපණය කරගනිමින් සිලෝන් නිව්ස්පේපර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයේ පාලනාධිකාරිය විසින් සිදු කෙරෙන බවට වාර්තා වන මෙම ක්‍රියාවන් හේතුවෙන් මව්බිම- සිලෝන් ටුඩේ සේවක පිරිස් සහ ඔවුන්ගේ පවුල් දැඩි අසීරුතාවයට පත්ව ඇත.

එබැවින්, මේ පිළිබඳව වහාම අවධානය යොමු කර, අගතියට පත් මාධ්‍යවේදීන් ඇතුළු සේවක පිරිසට සාධාරණය ඉටු කර දීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව ලෙස නිල වශයෙන් මැදිහත් වන ලෙස පහත අත්සන් තබන  මාධ්‍ය සංවිධාන එකමුතුවෙහි අපි ඔබතුමියගේ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

එසේම මේ ප්‍රශ්නය ඇතුළු ජනමාධ්‍ය කර්මාන්තයට අදාළ සේවක ගැටලු කිහිපයක් පිළිබඳව ඔබ සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටිමු.

මේ අසාධාරණය සම්බන්ධයෙන් ඔබ අපක්ෂපාතීව කඩිනම් පියවරක් ගනු ලබනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM)         

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය (FMMTU)

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA)                                                     

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU)

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLYJA)

ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය (SLMMF)

ශ්‍රී ලංකා දෙමළ මාධ්‍ය සංසදය (SLTMA)

දකුණු ආසියානු මාධ්‍ය කාන්තාවෝ(SAWM)    

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image