දීමනාවන් නොදුන්නොත් වෘත්තීය ක්‍රියාමාර්ගයට යනවා - කළමනාකරණ සේවා නිලධාරින් ජනපතිට අනතුරු අඟවයි
2027 වාර්ෂික අයවැය මගින් කළමනාකරණ සේවා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ අපේක්ෂා ඉටු නොවීම මත, රු. 25,000 ක දීමනාවක් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත එළඹෙන බව කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් අනතරු අඟවා ඇත.
එම ලිපයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ,
රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ 49,000ක පමණ අනුමත කාර්ය මණ්ඩලයකින් සමන්විත කළමනාකරණ සේවා නිලධාරී සේවාවේ නිලධාරීන් ලෙස, 2006 වර්ෂයේ සිට අප මුහුණ දී ඇති වැටුප් විෂමතාව විසඳා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ රජය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර, එම ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් සේවාව නියෝජනය කරන වෘත්තීය සමිති අනවරත අරගලයක යෙදී සිටින්නෙමු. එසේ තිබියදී, රාජ්‍ය සේවය තුළ තෝරාගත් සේවාවන් වෙත විවිධ රාජ්‍ය පාලනයන් යටතේ ලබා දෙන ලද දීමනා සම්බන්ධයෙන් විෂමතාවක් පවතින අවස්ථාවක, නැවත වරක් තෝරාගත් සේවාවන් කිහිපයක් සඳහා පමණක් දීමනා ලබා දීම මගින් අප සේවාව වැනි අඩු වැටුප් ලබන රාජ්‍ය සේවකයින්ගේ දැඩි විරෝධය මේ සම්බන්ධයෙන් එල්ල වී පවතී. බැවින්, අඩු වැටුප් ලබන රාජ්‍ය සේවකයින් වෙත රු. 25,000ක මාසික අතිරේක දීමනාවක් ලබා දී අදාළ ගැටලුව නිරාකරණය කිරීමට වහා මැදිහත් වී කටයුතු කරන මෙන් කළමනාකරණ සේවා නිලධාරී සේවාව නියෝජනය කරන වෘත්තීය සමිති ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
- 18/2015 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් විධායක සේවාවන්ට අදාළව සේවා කාලය මත පදනම්ව විශේෂ දීමනාවක් 2015 වර්ෂයේ සිට ගෙවීමටත්, 2024 ජූලි මස සිට රජය විසින් එම දීමනාව සේවා කාලය නොසලකා රු. 25,000ක් දක්වා සංශෝධනය කර ගෙවීමටත් කටයුතු කරන ලදී. ඒ අවස්ථාවේදී රාජ්‍ය සේවයේ අඩු වැටුප් ලබන සියලු සේවකයින් රු. 25,000ක දීමනාවක් ඉල්ලා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ අතර, ඒ අනුව 2024 ජූලි 08 සහ 09 දෙදින වැඩ වර්ජනයකට ද රජයට මුහුණ දීමට සිදු විය.
- ඔබතුමාගේ රජය බලයට පත්වීමෙන් අනතුරුව 2025 වර්ෂයේ සිට රාජ්‍ය සේවකයින්ට ගෙවන වැටුප අදියර තුනක් යටතේ වැඩි කරන ලද අවස්ථාවේදී ද රජයේ ඉහළ සේවාවන්ට අදාළව සුවිශාල වැටුප් වැඩිවීමක් හිමි වූ අතර, කාර්යාල කාර්ය සහායක සහ කළමනාකරණ සේවා නිලධාරී ඇතුළු සේවාවන්ට අදාළව එම වැඩිවීම ඉතා පහළ මට්ටමක පවතී.
- වර්තමානය වන විට රටේ උද්ධමනය 8.3%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ප්‍රවාහනය, ගෙවල් කුලිය, ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වන වියදම ශීඝ්‍රයෙන් ඉහළ යාම තුළ අප ඇතුළු අඩු වැටුප් ලබන රාජ්‍ය සේවකයින් දැඩි පීඩාකාරී ආර්ථික තත්ත්වයකට මුහුණ දී සිටින්නෙමු. 2025 වැටුප් වැඩිවීමට අදාළව සිදු වන මූලික වැටුපේ වෙනස මගින් මෙම තත්ත්වය තුළ කිසිදු සහනයක් හිමි නොවේ.
- ඔබතුමා ඇතුළු රජයේ වගකිවයුතු මැති ඇමතිවරුන් විසින් අයවැයට පෙර රාජ්‍ය සේවයේ දීමනා සංශෝධනයට අදාළව සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ මත, 2027 අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ අඩු වැටුප් ලබන රාජ්‍ය සේවකයින්ගේ ජීවත්වීමේ අර්බුදයට යම් සහනයක් ලැබේ යැයි අපේක්ෂිතව සිටියෙමු. ඒ හේතුවෙන් පසුගිය වකවානුව තුළ ජීවන වියදම වැඩිවීම හමුවේ වෘත්තීය ක්‍රියාමාර්ග කරා අවතීර්ණ නොවී කටයුතු කළ නමුත්, මේ වන විට එම තත්ත්වය සහමුලින්ම වෙනස් වී ඇත. අඩු වැටුප් ලබන රාජ්‍ය සේවකයා නොසලකා හැර වැඩි වැටුප් ලබන රාජ්‍ය සේවකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් පමණක් රජය අවධානය යොමු කර ඇති බවට මේ වන විට චෝදනා එල්ල වේ.
- රාජ්‍ය සේවයේ මූල්‍ය කළමනාකරණය, කාර්යාල කළමනාකරණය, පිරිස් පාලනය ඇතුළු බහුකාර්ය ස්වරූපයේ සේවාවන් ඉටු කරන සහ රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, කොමිෂන් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් සභා සහ පළාත් පාලන ආයතනයන්හි මහජන සේවාවන් සැපයීමේදී ද රටේ සංවර්ධන ක්රියාවන්හිදී ද සුවිශේෂී රාජකාරියක් ඉටු කරන කළමනාකරණ සේවාව ප්රමුඛ අඩු වැටුප් ලබන රාජ්‍ය සේවකයින්ගේ ජීවත්වීමේ අර්බුදය සම්බන්ධයෙන් ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමු. මේ සම්බන්ධයෙන් ඉදිරි කාලය තුළ කාර්යාල මට්ටමින් විරෝධතා දියත් කිරීමටත්, ඉල්ලීම් ඉටු නොවන්නේ නම් වැඩ වර්ජනයන් වෙත සටන තීව්ර කිරීමට සිදු වන බවත් කාරුණිකව දැනුම් දෙමු.

