මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවාවේ අභිමානවත් පළමු සියවස් සැමරුම සැමරේ

dantal-100

මෙරට ජීවත්වන ජනතාවගේ මුඛ සෞඛ්‍යය සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම වෙනුවෙන් සියවසක අභිමානවත් මෙහෙවරක් ඉටු කර ඇති ශ්‍රී ලංකාවේ රජයේ දන්ත වෛද්‍ය සේවයේ ශත සංවත්සර සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගිත්වයෙන් (22) දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ජැස්මින් ශාලාවේදී පැවැත්විණි.

1926 වසරේදී එක් දන්ත ශල්‍ය වෛද්‍යවරයකුගෙන් ආරම්භ වූ මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවය, සියවසක කාලයක් පුරා විකාශනය වෙමින් අදවන විට මෙරට රාජ්‍ය සෞඛ්‍ය සේවයේ අත්‍යවශ්‍ය හා පුළුල් වෘත්තීය සේවා පද්ධතියක් බවට පත්ව තිබේ. එදා ඉතා සීමිත මානව සම්පතකින් ආරම්භ වූ මෙම සේවාව, වර්තමානය වන විට දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 1,600කට ආසන්න සංඛ්‍යාවකින් සහ විශේෂඥ දන්ත  ශල්‍ය වෛද්‍යවරුන් 120කින් පමණ සමන්විත ශක්තිමත් වෘත්තීය සේවාවක් දක්වා වර්ධනය වී තිබීම එහි සියවසක ගමන්මඟ තුළ අත්කරගෙන ඇති සුවිශේෂී ප්‍රගතිය මැනවින් පිළිබිඹු කරයි.

මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවාවේ සියවසක අභිමානවත් ගමන්මඟ සනිටුහන් කරමින් විශේෂ සැමරුම් මුද්දරයක් සහ මුල් දින කවරයක් ද මෙහිදී එළිදක්වන ලදී.

එමෙන්ම, මෙරට දන්ත වෛද්‍ය සේවාවේ සියවසක විකාශනය, ප්‍රගතිය සහ ඓතිහාසික ගමන්මඟ පිළිබිඹු කෙරෙන ග්‍රන්ථයක් ද මෙහිදී එළිදක්වන ලදී. මහාචාර්ය දිලීප් ද සිල්වා මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දන්ත සේවා අංශය එක්ව සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය, සියවසක් පුරා මෙරට දන්ත වෛද්‍ය සේවාව අත්කරගත් ප්‍රගතිය සහ එහි විකාශනය පිළිබඳ වැදගත් ලේඛනගත කිරීමක් ලෙස සැලකේ.

තවද, මෙරට දන්ත වෛද්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සහ වෛද්‍ය රෙජී ගුණතිලක යන මහත්වරුන්ගේ සේවය ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත විශේෂ ඇගයීම් ද පිරිනමන ලදී.

ශත සංවත්සරය යනු හුදෙක් සියවසක කාලයක් සම්පූර්ණ වීම සනිටුහන් කරන අවස්ථාවක් පමණක් නොව, පරම්පරා ගණනාවක දන්ත වෛද්‍ය වෘත්තිකයන්ගේ කැපවීම, වෘත්තීය නිපුණත්වය සහ මහජන සේවය වෙනුවෙන් සිදු කළ අමිල මෙහෙවර ඇගයීමට ලක් කරන සුවිශේෂී සන්ධිස්ථානයකි. එමෙන්ම අනාගත පරපුරේ මුඛ සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා වඩාත් පුළුල් හා ශක්තිමත් දන්ත වෛද්‍ය සේවාවක් ගොඩනැඟීමේ වැදගත්කම ද මෙම සැමරුම මඟින් අවධාරණය කෙරිණි.

මෙම ශත සංවත්සර සැමරුම් උත්සවයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්වන විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, ජනක කිත්සිරි ගුණවර්ධන, හර්ෂණී සිරිනාම, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්වන විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක (දන්ත සේවා), විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන්, වසන්ත කුමාරසිංහ, දිනිප්‍රිය හේරත්, හිටපු සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය වෛද්‍ය රාජේෂ් සම්බාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav), ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපති (2026–2027) වෛද්‍ය නිලන්ත රත්නායක, යන මහත්ම මහත්මීන් මෙන්ම දන්ත වෛද්‍ය වෘත්තිකයන්, විද්වතුන් සහ විද්‍යායතන සහ සංගම් නියෝජනය කරමින් නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image