පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තිකයන්ට නිර්මාණය වී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා බල කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වන බව පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවා ඒ්කාබද්ධ බලමණ්ඩලය ජනාධිපතිවරයා ඇතුළු බලධාරින් වෙත ලිපියක් යවමින් අවධාරණය කරයි.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
දිදුලන රටක් බිහිකර ගැනීමේ නිර්ව්‍යාජ හා අවංක අධිෂ්ඨානය පෙරදැරිව ඉදිරිපත් කරනු ලැබූ තුන්වැනි අයවැය හරහා පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තියන්ට ඇතිවූ ගැටළු පිළිබඳව පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ අංක JCPP/GEN/2026(01) හා 2026.11.21 දිනැති ලිපිය මගින් මේ වන විටත් රජයේ පාර්ශ්වය දැනුවත් කර ඇත.
වෘත්තීය සමිති පිළිබඳ මනා පරිචයක් ඇති රජයක් වුවත් සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටළුව විසඳීම සඳහා මේ වන තෙක් කිසිඳු සාධනීය මැදිහත්වීමත් සිදු කර නොමැති නිසා වෘත්තීය සමිති ලෙස අපගේ ඉදිරි ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට සිදුවන බව කාරුණිකව දන්වා සිටිමු.
සෞඛ්‍ය වැය ශීර්ෂයට අදාල විවාදයට පෙර මෙම ගැටළුව සඳහා සාධනීය මැදිහත්වීමක් සිදු කරනු ඇති බව අප තවදුරටත් විශ්වාස කරන අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ග හරහා සෞඛ්‍ය සේවාවේ බිඳවැටීම් සිදු කරමින් රජය හෝ සෞඛ්‍ය සේවාලාභි මෙරට මහජනතාව අපහසුතාවයට පත් කිරීමේ අවශ්‍යතාවයක් අප සතු නොවන බවත් පෙන්වා දෙමු. ඒ අනූව 2026.11.26 වන බ්‍රහස්පතින්දා දින මධ්‍යහන 12.00 සිට ප.ව. 2.00 දක්වා කාලය තුල සංකේතාත්මක විරෝධතා ක්‍රියාමාර්ගයකට යොමු වෙමින් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීම සනිටුහන් කිරීමට බලාපොරොත්තු වෙමු.
රජයේ මැර බලය හෝ දේශපාලන අත් උදව්කරුවන්ගේ මැදිහත්වීම හරහා මෙම සාමකාමී වෘත්තීය ක්‍රියාමාර්ගය කඩාකප්පල් කිරීමට කටයුතු නොකරන ලෙස ඉල්ලා සිටින අතරම පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තිකයන් ලෙස ඉදිරිපත් කරන මෙම පහත ගැටළු දේශපාලනික පක්ෂයක අවශ්‍යතාවන් ලෙස හඳුන්වා දීම සිදු නොකරන ලෙසත් ඉල්ලා සිටිමු.
1. 2025 අයවැය මඟින් අත්හිටුවන ලද, මූලික වැටුපින් 1/20ක් වූ සති අන්ත හා නිවාඩු දින දීමනා සහ මූලික වැටුපින් 1/160ක් වූ අමතර/ඇමතුම් සේවා දීමනා, වහා ස්ථාපිත කිරීම.
2. සෞඛ්‍ය අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය එක්ව නිර්මාණය කරනු ලැබූ තාක්ෂණික වාර්තාව මත පදනම්ව, සෞඛ්‍ය ක්ෂේත්රයේ සුවිශේෂීත්වය මත ගෙවනු ලබන, DAT දීමනාවට සමානුපාතිකව විශේෂ රාජකාරි දීමනා ඉහළ දැමීම.
3. විෂමතා ඉවත්ව, ජීවන වියදම අනුව වැටුප් ගැලපීම සිදුවන තෙක්, රු.25,000/-ක අතුරු දීමනාවක් ලබාදීම.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය කඩාකප්පල් කිරීමේ අරමුණෙන් අප වෘත්තීකයන් අපහසුතාවයට පත් කිරීමේ හෝ අප වෘත්තිකයන් සාමකාමීත්වයෙන් ඉවත් කර අරගලකාරී තත්වයට පත් කිරීමේ වෑයම් ක්‍රියාත්මක විය හැකි විභවතාවයන් පවතින බැවින් එවන් පාර්ශ්වයන්ගේ සිදුවිය හැකි බලපෑම් වලින් අප වෘත්තිකයන් ආරක්ෂා කර ගැනීම සඳහා පොලිස්පතිතුමාගේ මැදිහත් වීම ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටින අතර ඊට අදාල නියෝග නිකුත් කරන ලෙස ගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමිය සහ ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිමු.
එනයින් උක්ත කරුණු පිළිබඳව සැලකිල්ලට ගෙන ඔබතුමා ඇතුළු රජය විසින් ඉදිරිපත් කර ඇති අයවැය සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා අප සූදානම් බව පෙන්වා දෙන අතරම ඊට අදාල දිනයක්, වේලාවක් හා ස්ථානයක් වේ නම් ඒ පිළිබඳ කඩිනමින් අප දැනුවත් කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.
