රෝහල් පරීක්ෂණ හා ප්‍රතිකාර සේවාත් ජනවාරි 21 සිට ලෙඩ වෙයි

රෝහල් පරීක්ෂණ හා ප්‍රතිකාර සේවාත් ජනවාරි 21 සිට ලෙඩ වෙයි

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ  සංගමය 21 වෙනිදා උදෑසන 8 සිට 22 වෙනිදා උදෑසන 8 දක්වා පැය 24 සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව මේ වන වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත. ජනවාරි 06 සහ 12 වෙනිදා යන අවස්ථා දෙකකදී මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දැනුම්දීම් සිදු කර ඇතත් මේවනතෙක් අදාළ ගැටළුවට යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගය සිදුකිරීමට සිදුවන බව සංගමය ප්‍රකාශ කර සිටි.

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් සියලු විකිරණ පරීක්ෂණ සේවා, සීටී ස්කෑන් පරීක්‍ෂණ, MRI ස්කෑන් පරීක්‍ෂණ, මැමෝග්‍රෑම් පරීක්ෂණ, ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණසේවා , විකිරණ භාවිතයෙන් සිදුවන ශල්‍යාගාර සැත්කම් සේවා සියල්ල අඩාල වීමට නියමිතව ඇත. දිවයින පුරා රෝහල් 140 කට ආසන්න ප්‍රමාණයක මෙම වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන අතර මහරගම අපේක්ෂා රෝහල ඇතුළු පිළිකා ප්‍රතිකාර ඒකක, රිජ්වේ ආර්යා ළමා රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, කාසල් විදියේ කාන්තා රෝහල, ද සොයිසා  කාන්තා රෝහල යන රෝහල් පමණක් වර්ජන ක්‍රියාමාර්ගයට සහභාගී කරවා නොගැනීමට තීරණය කර ඇත.

මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂක ධූරයෙහි රාජකාරී ආවරණය කරන පුද්ගලයාගේ නීති විරෝධී සහ විෂමාචාරී හැසිරීම සම්බන්ධයෙන් අපක්ෂපාතීය පරීක්ෂණයක් එම පුද්ගලයා එම රෝහලෙන් සහ තනතුරෙන් තාවකාලිකව ඉවත්කොට සිදු කළ යුතු වුවත් තවමත් ඉහත කී පුද්ගලයා එම තනතුරු වලම හිඳිමින් පරීක්ෂණයේ සාක්ෂිකරුවන්ට බලපෑම් කරන තත්ත්වයක් උදාවී ඇත. මෙවැනි තත්ත්වයක් තුළ සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙවැනි විනය විරෝධී ආකාරයෙන් හැසිරෙන පුද්ගලයන් ආරක්ෂා කිරීම කණගාටුවට කරුණක් වී ඇත. මෙම පුද්ගලයාගේ මෙවැනි හැසිරීම් සම්බන්ධයෙන් 2024 සහ 2025 වර්ෂයන්හිදී අවස්ථා දෙකකදී සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කර ඇතත් ඒ  පිළිබඳව ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වෙන තෙක් නොගැනීමද මෙම පක්ෂග්‍රාහී හැසිරීමට හොඳම උදාහරණයන් වී ඇත.

මෙම ගැටලුව විසඳීම සඳහා සෞඛ්‍ය ඇමතිවරයාගේ මැදිහත්වීම අපේක්‍ෂා කරන අතර ගැටලුව විසඳීමට මැදිහත් නොවන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කිරීමට සිදුවනු ඇත. වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගීන්ට වන අපහසුතාවය සම්බන්ධයෙන් සියලු වගකීම් මෙම ගැටලුව විසඳීමට මැදිහත් නොවන සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් භාරගත යුතු බව සංගමය ප්‍රකාශ කර සිටි.

සබැඳි පුවත්