සියලු රාජ්‍ය බැංකු 22 දින සංඛේත වර්ජනයක

සියලු රාජ්‍ය බැංකු 22 දින සංඛේත වර්ජනයක

බැංකුවල දීර්ඝකාලීනව නොවිසඳී ඇති ගැටලුවලට විසඳුම් ඉල්ලා ආරම්භ කොට ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කරන බව ලංකා බැංකු සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

බැංකුවල දීර්ඝකාලීනව නොවිසඳී පවතින පහත සඳහන් ගැටලුවලට 2020-06-26 වැනි දින ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ලබාදෙන ලද නිශ්චිත විසඳුම් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණවීමට සංගමයට සිදුවිය. ඒ අනුව,

• බැංකු සේවක ප්‍රජාවට බලපාන විශ්‍රාම වැටුප්
• බැංකුවලට බඳවා ගන්නා නවකයින්ගේ පුහුණු කොන්ත්‍රාත් කාලය මෙතෙක් පැවති පිළිගත් ක්‍රමවේදයට පටහැණිව වසර 2 කට වඩා දීර්ඝ කිරීම සහ
• ලංකා බැංකුවට පූර්ණ අනුබද්ධිත MBSL බැංකුවේ පවතින බරපතල පරිපාලනමය අක්‍රමිකතා නිවැරදි නොකිරීම

යන ගැටලුවලට ලබාදුන් විසඳුම් ක්‍රියාත්මක කරන ලෙසට බලකරමින් පළමුව පොස්ටර් ව්‍යපාරයක් ද, ඉන් අනතුරුව 2021. 03. 16, 17 සහ 18 තෙදින විරෝධතා ලාංඡන පැළඳ සේවයේ යෙදීමේ අවම ක්‍රියාමාර්ගයක් ද දියත් කරන ලදී. එයින් පසු 2021. 03. 18 වැනි දින සිට 2021. 03. 23 වැනි දින දක්වා මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකු ප්‍රධාන කාර්යාල ඉදිරිපිට දී දහවල් කෑම පැයේ විරෝධතා පිකට් උද්ඝෝෂණ ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

එම අවම ක්‍රියාමාර්ග තුළ අප විසින් පෙන්වා දෙනු ලැබූ ගැටලු විසඳීමට ආණ්ඩුවේ බලධාරින් හෝ බැංකු පාලනාධිකාරින් කටයුතු නොකිරීම හේතුවෙන්, 2021. 04. 01 දින සිට 2021. 04. 07 වැනි දින දක්වා පළාත් මට්ටමින් පිකට් උද්ඝෝෂණ දියත් කරන ලද අතර උද්ඝෝෂණ අවසානයේ දී පළාත් ආණ්ඩුකාරවරුන් වෙත සංදේශයක් බාරදීමට ද කටයුතු කරන ලදී.

2021. 04. 08 වැනි දින බස්නාහිර පළාත් පිකට් උද්ඝෝෂණය, පළාතේ සියලු මධ්‍යම කාරක සභිකයින් ක්‍ර්‍රියාකාරීන් හා පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානයේ සහයෝගයෙන් කොළඹ ලේක්හවුස් වටරවුමේ දී පවත්වන ලද අතර උද්ඝෝෂණය අවසානයේ ජනාධිපතිතුමන් වෙත බාරදීමට සකස් කරන ලද සංදේශය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාරදීමට කටයුතු කරන ලදී.

සිංහල හා හින්දු අලුත් අවුරුදු ගනුදෙනු වර්ජනය කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව තිබුණ ද තවදුරටත් රජය හා ජනතාව අපහසුතාවට පත් නොකරමින් අපගේ ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට පාලකයින් වෙත අවස්ථාව ලබා දුන්න ද අප විසින් ලබාදෙන අවස්ථාවන් උපයෝගීකර ගනිමින් ගැටලු විසඳීමට කටයුතු නොකිරීම නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කිරිමට සංගමය තීරණය කර ඇත. ඒ අනුව 2021. 04. 15 දින සියලුම බැංකු ශාඛාවන් ඉදිරිපිට පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමට කටයුතුකරන ලදී.

කෙසේ වෙතත් ආණ්ඩුවේ බලධාරීන් හෝ බැංකු පාලනාධිකාරීන් මෙම ගැටලු විසඳීම සඳහා කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොදක්වා සිටීම හේතුවෙන් විධායක සභාවේ තීන්දුව පරිදි දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කිරීමට සංගමය තීරණයකර ඇත. ඒ අනුව,

2021. 04. 22 - සියලු රාජ්‍ය බැංකු සංකේත වැඩ වර්ජනය
2021. 04. 22 - පෞද්ගලික බැංකුවල විරෝධතා ලාංඡන පැළඳීම

යන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වනු ඇත.

බැංකු පද්ධතිය තුළ කාර්මික සාමය බිඳ වැටීම තුළින් රටටත්, ජනතාවටත් අත්විය හැකි දුෂ්කරතාවන්හි වගකීම ගැටලු විසඳීම කල්මරමින් සිටින සියලු වගකිවයුතු බලධාරින් වෙත පැවරෙන බව අවධාරණය කරමු.

සාධාරණ අයිතීන් උදෙසා අප ගෙනයන අරගලය සඳහා ඔබ සැමගේ සහයෝගය සහෝදරාත්මකව අපේක්‍ෂාකර සිටිමු.