රාජ්‍ය සේවකයින් 30,000 ක් විශ්‍රාම දිවියට -පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් කඩිනමින්

රාජ්‍ය සේවකයින් 30,000 ක් විශ්‍රාම දිවියට -පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් කඩිනමින්
වයස අවුරුදු 60 සම්පූර්ණ වූ රාජ්‍ය සේවකයින් 30,000 ක් 2022 දෙසැම්බර් 31 වෙනි දිනට විශ්‍රාම ගැන්වීම සිදුව තිබෙන අතර එලෙස විශ්‍රාම ගිය පිරිස අතරට ආරක්ෂක, සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු ආදියෙහි රාජ්‍ය සේවකයින් ඇතුළත්වන බවයි වාර්තා ව්රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව පසුගිය රජය මගින් වයස 65 දක්වා ඉහළ දැමූ අතර එය ක්‍රියාත්මක වූයේ  2022 ජනවාරි මස 01 සිටයි.
 
එය යළි වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට වත්මන් රජය පියවර ගත් අතර, මෙම තීරණය හේතුවෙන් ඇතැම් ක්ෂේත්‍රවල අර්බුධකාරී තත්ත්වයන් නිර්මාණය වන බව වෘත්තීය කණ්ඩායම් පෙන්වා දී තිබේ.
 
රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන්, විශ්‍රාම ගැන්වීමේ තීරණයට අදාළව වෙනස්කම් සිදු වුණේ මෙවැනි පසුබිමකදී වන අතර ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවෙන් හා ජනාධිපති ලේකම්වරයාගේ නිර්දේශවලට යටත්ව දුම්රිය දෙපාර්තමේන්තුවේ තුන්සිය දෙනෙකු සේවා අවශ්‍යතා මත සේවයේ තබාගැනීමට අවසර ලබා දී තිබේ.
 
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, අදාළ සේවකයින් කොන්ත්‍රාත් පදනම මත ඉදිරියට කටයුතු කරන බව ය.
 
විශේෂඥ වෛද්‍යවරුන්, හා දන්ත ශල්‍ය වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමට අදාළ වයස් සීමාව ද පසුගිය දා සංශෝධනය කෙරුණි.
 
මේ අතර රජය පවසන්නේ, අදාළ තීරණය රාජ්‍ය සේවයේ කටයුතුවලට බාධාවක් නොවන අයුරින් ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවයි.
 

සේවා අවශ්‍යතා අනුව අග්‍රාමාත්‍ය ලේකම් කමිටුවේ නිර්දේශ මත විශ්‍රාම යන රාජ්‍ය සේවකයින්ගේ පුරප්පාඩු සඳහා නිලධාරින් බඳවා ගැනීමේ කටයුතු සිදු වන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත ප්‍රකාශ කළේ ය.