මෙරට පාසල් දරුවන්ගේ පෝෂණයට ඇමෙරිකාවෙන් ආහාර මෙට්‍රික් ටොන් 3000ක්

මෙරට පාසල් දරුවන්ගේ පෝෂණයට ඇමෙරිකාවෙන් ආහාර මෙට්‍රික් ටොන් 3000ක්

ඇමෙරිකාව එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) හරහා සහ සේව් ද චිල්ඩ්‍රන් සමඟ සහයෝගීතාවයෙන්, ශ්‍රී ලංකාව පුරා පාසල් ළමුන් පෝෂණය කිරීම සඳහා (26) දිනයේදී කඩල පරිප්පු මෙට්‍රික් ටොන් 320ක් පරිත්‍යාග කර තිබේ.

මෙය, මෙට්‍රික් ටොන් 3,000ක විශාල ආහාර පරිත්‍යාගයකින් එක කොටසකි. එක්සත් ජනපද තානාපති ජූලි චංග් මහත්මිය, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ සහ සේව් ද චිල්ඩ්‍රන් යන ආයතනවල නියෝජිතයන් පිරිසක් මෙම භාරදීමේ උත්සවයට සහභාගි විය.

“ඇමරිකානු ජනතාවගෙන් ලැබෙන මේ පරිත්‍යාගය ශ්‍රී ලාංකිකයින් අතරින් වඩාත්ම අවදානම්පාත්‍ර පිරිස වන ළමයින් ඉලක්ක කරමින් ලබාදෙන අතර, කුසගින්න පිළිබඳ කරදර නොවී තමන්ගේ පාසල් වැඩ කටයුතු ගැන අවධානය යොමු කිරීමට ඉන් ඔවුන්ට ඉඩ සැලසෙනවා. ඒ සෑම පෝෂණීය ආහාර වේලක් ම නිදහසින් පසුව මෙරට මුහුණ දුන් වඩාත් ම බරපතළ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලාංකිකයින්ට උපකාර කරන්නට එක්සත් ජනපදයේ ඇති කැපවීම සඳහා සාක්ෂි දරාවි,” යනුවෙන් එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය ප්‍රකාශ කළාය.