පුංචි ඡන්දෙට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් 3000ක් අමාරුවේ

පුංචි ඡන්දෙට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් 3000ක් අමාරුවේ
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර දී මේ වන තෙක් වැටුප් රහිතව සිටින රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් තුන්දහසකට අධික පිරිස අතිශය ආර්ථික දුෂ්කරතාවට පත්ව ඇති බව වාර්තා වේ.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම විසින්ද, මේ පිළිබඳ සිහිපත් කරමින් ජනාධිපතිවරයා වෙත ඊයේ (21) ලිපියක් යොමු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
 
පීඩාවට පත් මෙම රාජ්‍ය සේවකයින් නිවාස ණය ඇතුළු විවිධ මූල්‍ය ආයතන වෙත ණය වාරික ගෙවන අතරතුර මූලික වැටුප පවා මාස ගණනාවකට අහිමිවීම ඔවුන්ගේ රාජකාරි ඉතිහාසයේ බරපතළ ඛේදවාචකයක් බව මන්ත්‍රීවරයා පෙන්වාදී තිබේ.
 
 2018 පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කල් යාමෙන් පසුව උද්ගත වූ තත්ත්වය තුළ රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් අනුගමනය කළ පූර්වාදර්ශය අනුව යමින්, නොපමාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉහළ කැපකිරීමක් කළ දහස් ගණනක් වූ මේ පිරිස ගැන ඉදිරි සතියේදී තීරණයට එළැඹීම ජනාධිපතිවරයාගේත් මහජන නියෝජිතයන්ගේත් බැහැර කළ නොහැකි වගකීමක් බව මෙම ලිපියෙන් සිහිපත් කර දී ඇත.
 
කෙසේ වෙතත් එතෙක් රාජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන මඟින් ලබාගෙන ඇති ණය වාරික ගෙවීම තාවකාලිකව අත්හිටුවන්නැයි ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබේ.
 

එහි පිටපත් අගමැතිවරයා, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සහ ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ ආයතන වෙත යවා තිබේ.