වෘත්තිය සමිති 40ක් වැඩවර්ජනයකට සූදානම්

වෘත්තිය සමිති 40ක් වැඩවර්ජනයකට සූදානම්

මෙම සතිය ඇතුළත බදු ප්‍රතිපත්තිය සංශෝධනය නොකළහොත් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තීය සමිති හතළිහකින් යුත් වෘත්තිකයන්ගේ ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබෙන අතර වර්ජනය ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් ඉදිරි සතියේ තීරණය කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

වෛද්‍ය , ඉංජිනේරු, ගණකාධිකාරී, බැංකු ඇතුළු සියලුම සේවාවන්ට අයත් වෘත්තිකයන් මෙම සන්ධානය එක්ව සිටින අතර වැඩවර්ජනයකින් හැර සිය ඉල්ලීම් දිනාගත නොහැකි බැවින් මෙම තීරණය ගත් බවයි වෘත්තීය සමිති නායකයින් පෙන්වා දෙන්නේ. 

බදු ප්‍රතිපත්තිය වෙනස් නොකරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය ද සන්ධානයේ දැඩි විවේචනයට ලක්ව තිබෙන අතර බදු ප්‍රතිපත්තියට අදාළව කරන ප්‍රකාශයෙන් පරස්පර අදහස් ඇති වන බවත් සන්ධානය පවසයි.

උපයන විට බද්ද අහෝසි කළහොත් රුපියල් කෝටි දසදහසක් අහිමි වන බවත් බදු සීමාව රුපියල් දෙලක්ෂය දක්වා වැඩි කළහොත් අහිමි වන මුදල රුපියල් කෝටි හයදහස් තුන්සියයක් බවත් පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ ජනාධිපතිවරයා අහිමි වන සම්පූර්ණ මුදල රුපියල් කෝටි දහසය දහස් තුන්සියයක් බව ද කීවේය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන සන්ධානය පවසන්නේ උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළහොත් අහිමි වන මුදල රුපියල් කෝටි දසදහසක් නම් එය රුපියල් කෝටි දහසය දහස් තුන්සියයක් දක්වා වැඩි වන්නේ යැයි කීම අසත්‍යයක් බව ය. ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ කිසිසේත් අදාළ නොවන රුපියල් කෝටි හයදහස් තුන්සියයක් සම්බන්ධයෙන් යැයි ද සන්ධානය පවසයි.

මෙවැනි ප්‍රබන්ධ මත පිහිටමින් වෘත්තිකයන් පීඩනයට පත් කිරීමට කිසිසේත් ඉඩ දිය නොහැකි බවත් එම සන්ධානය ප්‍රකාශ කරයි.