වෛද්‍යවරුන් 5000ක් රට හැරයාමේ සූදානමක

වෛද්‍යවරුන් 5000ක් රට හැරයාමේ සූදානමක

වෛද්‍යවරුන් රට හැර යාම හරහා තීව්‍ර වී ඇති සෞඛ්‍ය අර්බුදයට විසඳුම් ලබා දෙන ලෙස බලකරමින් ප්‍රකාශයට පත් කර ඇති, අදින් ආරම්භ වන දැනුවත් කිරීමේ සතියක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සියලු කාණ්ඩ වල වෛද්‍යවරුන් රට හැර යාම හරහා තීව්‍ර වී ඇති සෞඛ්‍ය අර්බුදය ඛේදවාචකයක් බවට පත්  නොවීම සඳහා බලධාරීන් වහා මැදිහත් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස දිගින් දිගටම අවධාරණය කරන ලදී.

පසුගිය වසරක කාලයක් තුල වෛද්‍යවරුන් 1500 කට ආසන්න පිරිසක් රට හැර දමා ගොස් ඇති බවත්, මේ වන විට තවත් වෛද්‍යවරුන් 5000 කට ආසන්න පිරිසක් විදේශගත වීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර ඒ සඳහා සුදානමින් සිටින බවත් හෙලිදරව් වී ඇත.

ඉහත සංඛ්‍යා ලේඛන පවතින අර්බුදයේ බරපතලකම මැනවින් ප්‍රකාශ කරයි.

ඉහත තත්ත්වය තවදුරටත් තීව්‍ර වුවහොත් දිවයිනේ ප්‍රධාන රෝහල් වල පවා සේවාවන් සීමා කිරීමක් සිදු වීම වැළැක්විය නොහැකි වනු ඇත. අවසානයේ ජිවිත වලින් වන්දි ගෙවීමට සිදුවනුයේ අතිබහුතරයක් වන අසරණ දුප්පත් රෝගී ජනතාවට බව පැහැදිලිය.

ජනතාවගේ ජිවත් වීමේ අයිතියට ගරු කිරීම පාලකයින් සහ බලධාරීන් සතු අත්හල නොහැකි වගකීමකි. කෙසේ නමුත් පාලකයින් තවමත් මෙම අර්බුදයට විසඳුම් ඉදිරිපත් කිරීමට සංවේදි වනු දැකිය නොහැකි වීම කණගාටුවට කරුණකි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස පවතින තත්ත්වයට විසඳුම් ලෙස අට වැදෑරුම් යෝජනා මාලාවක් මේ වන විටත් ඉදිරිපත් කර හමාරය. එම යෝජනා පදනම් කරගනිමින් ක්‍රියාත්මක වීම හරහා පවතින අර්බුදය ඛේදවාචකයකින් නිමා වීම වැලැක්වීම නිශ්චිතව සිදු කල හැකි බව අපි තරයේ විශ්වාස කරමු.

ඒ සඳහා අසංවේදි පාලකයන්ගේ දෑස් විවර කිරීම සඳහා වන බලපෑම් අඛණ්ඩව සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස මේ වන විට තීරණය කර ඇත.

ඒ අනුව අදින් ආරම්භ වන සතියක කාලය වෛද්‍යවරුන් රට තුල රඳවා ගනිමින් නිදහස් සෞඛ්‍ය පද්ධතිය රැක ගැනීම සම්බන්ධව සියලු සමාජ ස්ථර දැනුවත් කිරීමේ සතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කරන ලදී.

ඒ අනුව මෙම සතිය තුල දිවයින පුරා පිහිටි අප ශාඛා සංගම් ජාලයන් භාවිතා කරමින් දේශපාලන පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලු දෙනා, සිවිල් සංවිධාන ක්‍රියාකාරින්, ආගමික නායකයින් ඇතුලු හඳුනා ගන්නා සියලු පාර්ශව, පවතින බැරැරූම් තත්ත්වය පිළිබඳවත්, ඊට අප විසින් ඉදිරිපත් කර ඇති විසඳුම් පිළිබඳවත් දැනුවත් කිරීමට කටයුතු කෙරෙනු ඇත.

මේ හරහා ලැබෙන පණිවිඩය නිවැරදිව ග්‍රහණය කර ගනිමින් තත්ත්වය නිවැරදි කිරීම සඳහා බලධාරීන් විසින් කඩිනමින් මැදිහත්වීම් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරමු.

සතියක කාලයකින් ඉක්බිතිව පවතින තත්ත්වය සම්බන්ධ සමාලෝචනයක් කර දැනුවත් කිරීම් වලින් ඉදිරියට ගොස් වෘත්තීය සමිතියක් ලෙස ගත හැකි උපරීම ක්‍රියාමාර්ග කරා යොමු වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස පසුබට නොවන බවද බලධාරීන් වෙත අනතුරු අඟවමු.     ‍