රාජ්‍ය සේවයේ පුරපාඩු 5000ක් -සුදුස්සන් කඩිනමින් බඳවා ගැනීමට යයි

රාජ්‍ය සේවයේ පුරපාඩු 5000ක් -සුදුස්සන් කඩිනමින් බඳවා ගැනීමට යයි

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා නව බඳවා ගැනීම් සිදුකිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇත.

මේ වනවිට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 4,658ක් පවතී.

ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණය සඳහා බඳවා ගැනීමේ පටිපාටියක් අනුමත වී නොමැති බැවින් මෙම පුරප්පාඩු පිරවීම සිදුකළ නොහැකිව ඇතැයි දන්වා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අමාත්‍ය මණ්ඩලය වෙත සන්දේශයක් යොමු කර තිබේ.

මේ අනුව විවිධ ආරක්ෂක රාජකාරීන් සඳහා යොදවා ඇති ශ්‍රී  ලංකා පොලිසියට අයත් නිලධාරීන් එම ආරක්ෂක රාජකාරිවලින් ඉවත් කර ඒ සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන් යෙදවීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

එසේම පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම සහ පූජනීය ස්ථානවල ආරක්ෂාව සඳහාද පොලිස් ස්ථානවල විශේෂ රාජකාරි සඳහාද සිවිල් ආරක්ෂක නිලධාරීන් යෙදවීමට සිදුව ඇතැයි කියන අමාත්‍යවරයා අලි වැට ඉදිකිරීම හා නඩත්තු කිරීම සඳහා මෙම නිලධාරීන් යෙදවීමට සිදුව ඇතැයි කියයි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩල සංඛ්‍යාවෙන් දහයෙන් එකක ප්‍රමාණයක් මේ වනවිට පුරප්පාඩුව පවතින අතර එය එම දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනයට මෙන්ම එමඟින් අපේක්ෂිත ඉලක්කයන් සපුරා ගැනීමේදී බාධාකාරී තත්ත්වයක් පවතින බැව් නිරීක්ෂණය වන බවද අමාත්‍යවරයා පෙන්වාදී ඇත.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයට අදාළ නව බඳවා ගැනීමේ පටිපාටිය අනුමත කරනු ලබන තෙක් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු 4,658 ප්‍රමාණයට නව බඳවා ගැනීම් සම්පූර්ණ කිරීමටත් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇත