පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්  600 කට පත්වීම් ලිපි  ප්‍රදානය කෙරේ

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්  600 කට පත්වීම් ලිපි  ප්‍රදානය කෙරේ

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 600 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ දින (02)  සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වෛද්‍ය පීඨ නව ගොඩනැගිල්ලේ (UCFM Tower) ශ්‍රවණාගාරයේ දි සිදු කෙරිනි.

මෙරට හා රෝහල් හා සෞඛ්‍ය ආයතනවල දැනට පවතින පුරප්පාඩු පිරවීම සදහා මෙම වෛද්‍යවරුන් දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ වනවිට මෙරට සෞඛ්‍ය  සේවාව තුල 22,000 ඉක්ම වූ වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩලයක් සේවයේ නියුතු අතර, 2022 වසරේ දී පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්  1622 කට පත්වීම් ලබාදීමටද  සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුනි.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ....

වත්මන් ආර්ථික ගැටළු හමුවේ වුව ද මෙරට ජනතාවට ගුණාත්මක, විදිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් මෙම පත්විම් ලබාදීම සිදු කරන බවත්, සෞඛ්‍ය සේවාවේ පුරප්පාඩු පවතින වෘත්තීන් වලට අදාලව පත්වීම් ලබාදීමටද  සැළසුම්සහගත වැඩපිළිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මක වන  බව ද පැවැසීය. අද දින පත්විම් ලබාදෙන මෙම වෛද්‍ය නිලධාරින් සේවා අවශ්‍යතාවය මත දිවයින පුරා වන රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට පියවර ගන්නා බව ද පැවැසීය. අඩු පිරිවැයකින්, ඉතා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සපයන රටවල් කිහිපය අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පෙන්වා දෙන බවද  අවධාරණය කල අමාත්‍යවරයා මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සහ රෝග නිවාරණ අංශය ප්‍රශස්ත මට්ටමක පවතින බව ද වැඩිදුරටත් පැවැසිය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්‍, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න, විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය‍, අධ්‍යක්ෂවරුන් වන වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න, වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශණ සිරිසේන, ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ යන මහත්වරුන්  ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පි‍රිසක් එක්ව සිටියහ.