රාජ්‍ය සේවයේ විශාල අතිරික්තයක් පවතින බව ප්‍රකාශ කළත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණ අලුතින් රාජ්‍ය සේවයට 63750 දෙනෙකු බඳවා ගෙන තිබෙන බව සමෘද්ධි වෘත්තිය සමිති ඒකාබද්ධ සම්මේලනයේ සභාපති අනුර බණ්ඩාර ආරියරත්න මහතා පවසයි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා රාජ්‍ය සේවයේ ලක්ෂ 5 1/2 ක අතිරික්තයක් තිබෙන බව ප්‍රකාශ කර තිබිය දී එතුමාගේම උපදෙස් මත ජනපතිවරයා රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යය තනතුරු වල හිඟයක් පවතින බව කියමින් කැබිනට් අනුමැතිය මත අදාළ බඳවා ගැනීම් සිදුකර තිබෙන බව ද ඒ මහතා කීය.
සමෘද්ධි ව්‍යාපාරයේ අනාගතය කොයිබටද යන්න තේමා කරමින් මහනුවර උඩරට කලා සංගම් ශාලාවේ දී (15) දින පැවැති සමෘද්ධි වෘත්තිය සමිති ඒකාබද්ධ සම්මේලනයේ දී ආරියරත්න මහතා මේ බව පැවසුවේය.
මෙතෙක් වෙන් වෙන්ව කටයුතු කළ සමෘද්ධි වෘත්තිය සංගම් සමෘද්ධි ව්‍යාපාරය තුළ තිබෙන පොදු ප්‍රශ්න වලට ඒකාබද්ධව විසඳුම් සෙවීමේ අරමුණින් සමෘද්ධි වෘත්තිය සමිති ඒකාබද්ධ සම්මේලනය පිහිටුවා ගනු ලැබ තිබෙන අතර එහිදී සභාපතිවරයා මෙසේද පැවසුවේය. මේ ආණ්ඩුව බලයට පැමිණ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යය තනතුරු 30000 ක් සඳහා මුලින් බඳවා ගැනීම් කළා. ඒ බඳවා ගැනීම සම්පූර්ණ වූ පසු තවත් ක්ෂේත්‍ර වල හිඟයක් තිබෙන බව කිව්වා. ඒ අනුව කැබිනට් අනුමැතිය මත තවත් 30000 ක් බඳවා ගත්තා. ඊට පස්සෙත් මදි කියලා නව බඳවා ගැනීම් තවත් කරන්න අනුමැතියක් ගත්තා. ඒ අනුව කැබිනට් මණ්ඩල අනුමැතියෙන් මේ වනවිට 63750 ක් රාජ්‍ය සේවයට ගන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. කනගාටුවට කරුණ වන්නේ මේ තුළ සමෘද්ධි දෙපාර්තමේන්තුවට කිසිදු සේවකයෙක් බඳවා නොගැනීමයි.
නිත්‍ය සමෘද්ධි සංවර්ධන නිලධාරි පුරප්පාඩු විතරක් 4560 ක් තියෙනවා. මේ සමස්තයම පුරවන්න ඉතිහාසය පුරා කිසිම ආණ්ඩුවක් කටයුතු කරලා නැහැ. ඉදිරියේ දී මේ හිඟය තවත් උග්‍ර වෙනවා. මේ වසරේ දී සමෘද්ධියේ 598 ක් විශ්‍රාම යනවා. 2026 දී 758 ක් 2027 දී 851 ක් 2029 දී 1050 ක් 2030 දී 2101 ක් හා 2031 දී 2273 ක් ලෙස ඉදිරි වසර 07 දී 6532 ක් විශ්‍රාම යනවා.
සමෘද්ධි ව්‍යාපාරය ඈවර කරන්න ආණ්ඩුව උත්සහ කළොත් ඒ සඳහා කිසිදු ඉඩක් නොදෙන්න වෘත්තිය සංගම් සම්මේලනය ශක්තිමත්ව පෙළ ගැසී සිටිනවා. සමෘද්ධි ව්‍යාපාරය ඉවරයි කියලා සමාජ මාධ්‍ය ඔස්සේ වගේම විවිධ දේශාපාලන මතවාද ලෙසත් අද සමාජගත වෙමින් තිබෙනවා. සමෘද්ධි ව්‍යාපාරය ඈවර කරන්න වත්මන් ආණ්ඩුව මේ දක්වා කිසිදු පියවරක් අරගෙන නැහැ. එහෙම ගන්න හදනවා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. සමෘද්ධි ව්‍යාපාරයේ පොදු අරමුණු ජය ගැනීම වෙනුවෙන් මේ එකතු වූ කණ්ඩායමට ප්‍රතිවිරුද්ධව වැඩ කරන්න යම් කණ්ඩායමක් ලෑස්ති කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා.
මේ සම්මේලනය හැදෙනකොට ආණ්ඩුව කලබලයට පත් වුණා. අපිට ඇමැති අයින් කරන්න වුවමනාවක් නැහැ. මේ ඉන්න ඇමැති වැඩකුත් නැහැ. එයාට පුදුම වැඩ තොගයක් තියෙන්නේ. ජනාධිපතිවරයා වෘත්තිය සමිති හම්බවෙන්නේ නැහැ. ඒ තරමට වැඩ. එපොයින්මන්ට් අරන් ඇමැතිවරයා මුණගැහෙන්න ගියාම ලේකම් දාලා කතා කරන්නේ. ලේකම් ඒක අහලා ඇමතිට කියලා, ඇමැති කැබිනට් එකට කියනකොට කළු කපුටා සුදු වෙනවා. එහෙම තත්ත්වයක් නිර්මාණය වී තිබෙන පසුබිමක අපේ ගැටලුවට හරි විසඳුමක් සොයන්න හරි තැනට යන්න පසුබිම සැකසීම තමයි මේ සම්මේලන ගතවීම ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ. සියලු වෘත්තිය සංගම් තම තමන්ගේ අනන්‍යතා අනුව පෙර ලෙසම ක්‍රියාත්මකයි. නමුත් පොදු අරමුණක් වෙනුවෙන් අපි එකතුවී වැඩ කරනවා.
සමෘද්ධි වෘත්තිය සමිති ඒකාබද්ධ සම්මේලනයේ භාණ්ඩාගාරික එන්.ඒ.එම්.අයි.බී අබේසිංහ මහතා අදහස් දක්වමින් මෙසේ කීවේය. මේ සංවිධානය ගොඩනගන්න සමෘද්ධි දෙපාර්තමේන්තුවේ නිත්‍ය සියලු වෘත්තිය සංගම් වලට අපි ආරාධනා කළා. සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයත් සමෘද්ධි නිලධාරින්ගේ සංගමයත් ආවේ නැහැ. ඒ අය යම් දේශපාලන පක්ෂයක සමාජිකත්වය ගෙන තිබෙනවා. පෞද්ගලිකව දේශපාලනය අපි හැමෝම කරනවා. නමුත් මෙතන ඉන්න කිසිදු වෘත්තිය සමිතියක් කිසිදු පක්ෂයක ලියාපදිංචිය අරගෙන නැහැ. සමෘද්ධි නිලධාරීන්ගෙන් 75 % ක් මේ ආණ්ඩුව පත් කරන්න ඡන්දය දුන්නා. ඉතාම නුදුරේදී මේ සංවිධානය අපි ලියාපදිංචි කරනවා. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපි දැක්කා විදුලි බල මණ්ඩලයේ සේවකයෙකුට බිම දාගෙන ගහනවා. සමෘද්ධියට දිවිනැගුම ව්‍යාපාරයට අත තියන්න ආපු ආණ්ඩුවලට ඇමැතිවරුන්ට අත්වූ ඉරණම මොකක්ද කියලත් ඒ අය තේරුම් ගන්න ඕන. රුපියල් කෝටි ගණනක මුදලක් සමෘද්ධි බැංකු වල හා ව්‍යාපාරයේ අරමුදල් වල තියෙනවා. ඒවා සුරක්ෂිත කර ගැනීමේ පූර්ණ වගකීමක් අපට තිබෙනවා.
සම්මේලනයේ ප්‍රධාන ලේකම් සමස්ථ ලංකා සමෘද්ධි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ කිත්සිරි ගමගේ, සෙසු වෘත්තිය සංගම් නියෝජිතයින් වන අසේල බණ්ඩාර, සුජීව වික්‍රමසිංහ, ශාන්ත බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
| අසේල කුරුළුවංශ