කුරුණෑගල වැවිලි සමාගමේ නව සාමූහික ගිවිසුම වසර 7කට පසු CESU අත්සන් තබයි

කුරුණෑගල වැවිලි සමාගමේ නව සාමූහික ගිවිසුම වසර 7කට පසු CESU අත්සන් තබයි
  • රැකියා සුරක්ෂිතතාව ඇතිකරමින් අයිතීන් දිනා ගැනීමට හැකිවීම සතුටක් - චතුර සමරසිංහ
  • ඉහළ ප‍්‍රතිලාභ සහිත ගිවිසුමකට අත්සන් තබන්නට ලැබීම භාග්‍යයක් - මාධවී හේරත්

කුරුණෑගල වැවිලි සමාගමේ කාර්ය මණ්ඩල සමාජිකයන් ගේ වැටුප් හා සේවා කොන්දේසි තීරණය කෙරෙන, කුරුණෑගල වැවිලි සමාගම ලංකා වතු සේවා සංගමය සමග එක්ව අත්සන් තබනු ලබන සාමූහික ගිවිසුමට දෙපාර්ශවය විසින් නොවැම්බර් මස 20 දින පෙරවරුවේ කුරුණෑගල පිහිටි කුරුණෑගල වැවිලි සමාගමේ ප‍්‍රධාන කාර්යාලයේ දී අත්සන් තබණු ලැබීය.

මෙම ගිවිසුමට කුරුණෑගල වැවිලි සමාගම වෙනුවෙන් එහි සභාපතිනි මාධවී හේරත් මහත්මිය ද, ලංකා වතු සේවා සංගමය වෙනුවෙන් එහි සභාපති චතුර සමරසිංහ මහතා ද අත්සන් තබන ලද අතර ලංකා වතු සේවා සංගමය පාර්ශව කරුවෙකු ලෙස මෙම ගිවිසුමට අත්සන් තබන ලද්දේ වසර 07 කට පසුව වීම විශේෂත්වයක් විය.

සාමූහික ගිවිසුම මගින් 20% වැටුප් වැඩි වීමක් ද, වාර්ෂික වැටුප් වර්ධකය 38% සිට 75% දක්වා ද ඇතුළු ඉල්ලීම් 31ක් ලබා දිනාගත හැකි විය.

මෙම ගිවිසුම අත්සක් තැබීම සම්බන්ධයෙන් අදහස් පළකල ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ මහතා කියා සිටියේ 2013 වසරට පසුව නැවතත් කුරුණෑගල වැවිලි සමාගම සමග සාමූහික ගිවිසුම අත්සන් කරන්නට තම සංගමයට අවස්ථාව ලැබීම කුරුණෑගල වැවිලි සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකත්වය ලද ජයග‍්‍රහණයක් බවය. 2017 වසරේ වෙනත් වෘත්තී සංගමයක් පාර්ශව කරුවෙකු ලෙස මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙන බවත් අතරමග දී එම සංගමය ගිවිසුමෙන් ඉවත්වීම හේතුවෙන් සාමූහික ගිවිසුමට හෝ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු වැටුප් පටිපාටියට අනුගත නොවීම හේතුවෙන් කාර්ය මණ්ඩල සාමාජිකත්වය විශාල අනතුරකට මුහුණ දී සිටි බවත් පෙන්වා දුන් සමරසිංහ මහතා ඔවුන් එම අනතුරෙන් මුදවා ගැනීමට මෙන්ම වැටුප්, දීමනා, රැුකියා සුරක්ෂිතතාව, අධ්‍යාපන, සුබසාධන ඇතුළු අයිතිවාසිකම් රැසක් මෙම ගිවිසුම මගින් දිනාගැනීමට තම සංගමයට හැකි වූ බවත් කියා සිටියේය.

කුරුණෑගල වැවිලි සමාගමේ සභාපතිනී මාධවී හේරත් මහත්මිය මෙම ගිවිසුම පිළිබඳව අදහස් පළ කරමින් කියා සිටියේ තම සමාගමේ සේවකයන් වෙනුවෙන් ඉහළ ප‍්‍රතිලාභ ලැබෙන ගිවිසුමකට තමන්ට අත්සන් තැබීමට ලැබීම භාග්‍යක් ලෙස සළකන බවත්, ඒ සඳහා සාකච්ඡා මාර්ගයෙන් එකඟතාව ඇති කරගැනීමට සහයෝගය දුන් ගිවිසුමේ පාර්ශවකරු වූ ලංකා වතු සේවා සංගමයට කෘතඥතාව පලකරන බවත්ය.

මෙම ගිවිසුමේ දෙපාර්ශවයේ සාක්ෂිකරුවන් ලෙස ලංකා වතු සේවා සංගමය වෙනුවෙන් එහි ප‍්‍රධාන ලේකම් රොබට් රොබට් ෆ‍්‍රැන්සිස් සහ භාණ්ඩාගාරික නිශාන්ත වන්නිආරච්චි යන මහත්වරු ද, කුරුණෑගල වැවිලි සමාගම වෙනුවෙන් එහි ප‍්‍රධාන විධායක නිලධාරී එස්.එම්.එම්. සමරකෝන් සහ මානව සම්පත් කළමණාකරු ඉන්දික වීරකෝන් මහතා ද අත්සන් තබන ලදි. මෙම අවස්ථාවට ලංකා වතු සේවා සංගමයේ සතර කෝරළ ශාඛාවේ සංවිධායක ආර්.එම්.පී. සෝමරත්න මහතා සහ කුරුණෑගල වතු ඒකක නියෝජිතයන් ද, කුරුණෑගල වැවිලි සමාගමේ නිලධාරීන් රැසක් ද සහභාගීව සිටියහ.

වැඩබිම