නිවෙස්වල සිට වැඩකරනවාට වැටුපෙන් 5% ක බද්දක්

නිවෙස්වල සිට වැඩ කරන අයගේ වැටුපෙන් 5% ක් බදු වශයෙන් අය කරගත යුතු බවට වන යෝජනාවක් ජර්මන් ඩොයිෂ් බැංකුවේ ආර්ථික විද්‍යාඥයන් පිරිසක් ඉදිරිපත් කර තිබේ.

කෙසේ නමුත්, අඩු වැටුප් ලබන අයගෙන් සහ ස්වයං රැකියාවල නිරත අයගෙන් මෙම බද්ද අය කර නොගැනීමටද ඔවුන් යෝජනාකර තිබේ.

මෙම බද්ද තුළින් රැස් කරගන්නා මුදල් සිය රැකියාවන් තර්ජනයට ලක්ව ඇති අයගේ සුබ සිද්ධිය වෙනුවෙන් යොදා ගත යුතු බව ජර්මන් ඩොයිෂේ බැංකුවේ මෙම ආර්ථික විද්‍යාඥයන්ගේ අදහසයි.

එක්සත් රාජධානිය තුළ මෙය ක්‍රියාත්මක කළහොත් වසරකට ස්ටර්ලිං පවුම් බිලියන 6.9ක් උපයා ගත හැකි වනු ඇති බව ඔවුහු පෙන්වා දෙති. රැකියා අහිමි වන පුද්ගලයන්ට සහ අඩු ආදායම්ලාභීන්ට වසරකට ස්ටර්ලිං පවුම් 2,000  බැගින් ගෙවීමට මෙය ප්‍රමාණවත් වනු ඇතැයි සඳහන් වේ.

මෙම ආර්ථික විද්‍යාඥයන් ඉදිරිපත් කරන තර්කයක් වන්නේ නිවසේ සිට වැඩ කරන පුද්ගලයන් දැන් යම් මුදලක් ඉතිරි කර ගැනීමට සමත් වී සිටින බවයි. ප්‍රවාහනය, ඇඳුම්, ආහාර ආදිය වෙනුවෙන් වෙනදා තරම් ඔවුන්ට මුදල් වැය නොවන බව මෙහිදී පෙන්වා දෙනු ලැබේ. ඒ නිසා ඔවුන් මත බද්දක් පැනවීමෙන් ලොකු බලපෑමක් ඔවුන්ගේ ආදායම්වලට සිදු නොවනු ඇති බව මෙම ආර්ථික විද්‍යාඥයන්ගේ අදහසයි.

ඇතැම් විශාල සමාගම් මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් වසංගතයෙන් පසුව වුවද තමුන්ගේ සේවකයන්ගෙන් යම් පිරිසකට පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව නිවෙස්වල සිටම රැකියා කිරීමට ඉඩ සලසන බවයි. මේ අනුව පෙනෙන්නේ නිවෙස්වල සිට රැකියා කිරීම ඉදිරියේ දී බොහෝ දුරට සාමාන්‍ය කටයුත්තක් බවට පත් වනු ඇති බවය.