එයාර්පෝට් ක්ලියරින් මගඩියේ ඇත්ත හෙළිකිරීම සහ ALFEA සභාපතිට පහරදීමට එරෙහිවීම

එයාර්පෝට් ක්ලියරින් මගඩියේ ඇත්ත හෙළිකිරීම සහ ALFEA සභාපතිට පහරදීමට එරෙහිවීම

ඉහත මාතෘකාවට අදාළව අද දින බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය (ALFEA) විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේ දී විශේෂ කරුණු කිහිපයක් හෙළිකරව් කිරීම සම්බන්ධව නිකුත් කළ මාධ්‍ය නිවේදනය.

බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනයේ (ALFEA) යනු 1985 අංක 21 දරණ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට හා 1988 මාර්තු 31 අති විශේෂ ගැසට් නියෝග මත පිහිටුවන ලද ආයතනයකි.

අප සංගමයේ සභාපති ෆයිරූස් මරික්කාර් මහතාට පසුගිය සිකුරාදා (04-16) මරදාන ප්‍රදේශයේ දී මැර කණ්ඩායමක් විසින් පහර දෙන ලදී. මේ සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර ඇත.

මෙම පහරදීමට ප්‍රධානම හේතුව වන්නේ නීත්‍යානුකූල නොවන ආකාරයට මෙරට කාන්තාවන් මැදපෙරදිග රටවලට ගෘහ සේවයට පිටත් කර යැවීමේ මාෆියාව නැවැත්වීම සම්බන්ධයෙන් අප සංවිධානය දිගින් දිගටම කළ මැදිහත් වීම ය.

එහි ආසන්නතම සිදුවීම ලෙස අප විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දී ඉකුත් දා වැටලීමක් සිදු කරන ලදී. අඩු වයස්, කුඩා දරුවන් සිටින, නිසි පුහුණුවක් නොමැති කාන්තාවන් සංචාරක විසා මගින් නීති විරෝධී ආකාරයට එක්සත් එමීර් රාජයට පිටත් කර යවන ජාවාරම පිළිබඳ හෙළි කිරීමට අපි මෙම වැටලීම සිදුකළෙමු.

මෙරට කාන්තාවන් නීත්‍යනුකූල නොවන අයුරින් විදෙස් රටවල ගෘහ සේවයට පිටත්කර මුදල් උපයන ජාවාරම මේ වනවිට ආකාර 2කින් රට තුළ සිදුවෙමින් පවතී.

එහි එක් ආකාරයක් වන්නේ සංචාරක වීසා මාර්ගයෙන් මෙරටින් ගෙනගොස් විදෙස් රටවල ගෘහ සේවයේ යෙදවීමයි. විශේෂයෙන් ම මෙලෙස සංචාරක (Visit Visa) වීසා මත ගෘහ සේවයට යන රටවල් අතර මැදපෙරදිග රටවල් ප්‍රධාන තැනක් ගන්නා අතරම එයින් ද වැඩිමනක් පිටත්ව යන්නේ ඩුබායි රාජ්‍යයට ය. මෙලෙස හොර පාරෙන් විදෙස් ගතවන එක් කාන්තාවක් වෙනුවෙන් අදාළ ජාවාරම්කරුවෝ රුපියල් එක් ලක්ෂ විසි දහසකට වඩා අධික මුදලක් විදේශ රැකියා නියුක්ති කාර්යාංශ නිලධාරීන් ඇතුළු ගුවන් තොටුපල පරිශ්‍ර නිලධාරීන් වෙනුවෙන් අල්ලස් ලෙස ලබා දෙති.

මෙහි අනෙක් ක්‍රමය වන්නේ Re Entry ක්‍රමවේදයයි. මෙහි දී සිදුවන්නේ රජයේ නීති රෙගුලාසිවලින් රිංගා යෑමට හැකි පරිදි අලුතින් ලබා ගන්නා විදෙස්ගමන් බලපත්‍රයක් ව්‍යාජ මුදා කිහිපයක් යොදා ගනිමින් සකසා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි කර විදෙස්ගත කිරීමයි. මෙම ව්‍යාජ ගමන්බලපත්‍ර සැකසීමේ දී මෙරට රාජ්‍ය ආයතනවල රබර් මුද්‍රා පමණක් නොව විදෙස් රටවල මුද්‍රා පවා ව්‍යාජ ලෙස සැකසීම ඉතා බරපතල ගැටලුවකි. එලෙස සකසන මුද්‍රා අතර ආගමන විගමන මුද්‍රා, වීසා නිකුත්කිරීමේ මුද්‍රා ද ඇතුළත් වේ. යම් හෙයකින් මෙම කූඨ ජාවාරම පිළිබඳ අදාළ විදෙස් රටවලට හෙළිදරව් වුවහොත් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය පළුදු වනවා සේ ම එකී රටවලට ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයන් ලබා ගැනීම ද නවතා දමනු නොවනුමානය.

මෙලෙස කූඨ ලේඛන සකසා කාන්තාවන් විදෙස් රටවලට අලෙවි කරන ජාවාරම පිටුපස විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් පිරිසක් සිටින බව මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු ය. මෙම ජාවාරමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන්නේ කුරුණෑගල පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වයඹ කාර්යාලය බව ද මෙහි දී ඉතා ඕනෑකමින් පෙන්වා දෙන්නට කැමැත්තෙමු. එහි නිලධාරීන් පිරිසක් මේ සඳහා සෘජුවම මැදිහත්ව කටයුතු කරන බව වගකීමෙන් යුතුව අපි ප්‍රකාශ කරනු කැමැත්තෙමු. මෑතක දී පුවත්පත් වාර්තාවක් පෙන්වා දී තිබුණේ විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලධාරීන් දිනකට ලක්ෂ 50කට වැඩි ආදායමක් මෙලෙස උපයන බවයි.

මෙම ජාවාරමට අදාළ සියලු තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා හට, විෂය භාර අමාත්‍යවරුන් හට අප විසින් ලබා දෙනු ලැබ ඇති අතර, වත්මන් ජනාධිපතිවරයාද මේ පිළිබඳ දැනුවත් කර ඇත. අවාසනාවකට කරුණනම් මේ වනතෙක් එකී කිසිදු පාර්ශ්වයක් මෙම ජාවාරම නවතා දැමීමට ක්‍රියා නොකිරීමයි. එහෙත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය වශයෙන් මෙම ජාවාරම නවතා දැමීමට මුල් වී කටයුතු කරන ඕනෑම අයකුට එහි සියලු තොරතුරු සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට අපි සූදානමින් සිටිමු.

කෙසේ වෙතත් ALFEA සභාපතිවරයාට ජාවාරම්කරුවන් එල්ල කළ මැර ප්‍රහාරය හෙළා දකිමින් මාධ්‍ය ඔස්සේ සිය කනස්සල්ල පලකළ ගරු කම්කරු ඇමැති නිමල් සිරිපාල සිල්වා මහතාට ද එම මැදිහත්වීම සම්බන්ධයෙන් අප සංගමයේ කෘතඥතාව පලකරමු. එසේම විෂය භාර අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාටද අපගේ ස්තුතිය පලකරමු.

මෙම ජාවාරමට තිත තැබීම බලධාරීන් සතුව පවතින වගකීමක් බව අපි නැවත නැවතත් සිහිපත් කරන්නෙමු.

මෙම මාධ්‍ය හමුවේ දී හෙළදරව් කළ කරුණු ජනතා යහපත වෙනුවෙන් ඔබ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට කටයුතු කරන්නේනම් අපි බෙහෙවින් කෘතඥ වෙමු.

බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමය (ALFEA)