හිර වී ඇති නඩු විමසා අවසන් කිරීමට විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළියමක් නොවන බව ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්යූ) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ සියල්ලක්ම පාහේ කියා සිටින්නේ එය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී සහ ව්‍යවස්ථාවට පටහැනි බවයි. ආණ්ඩුවට හිතෛශී බව හඳුන්වන ලද අග්‍ර විනිශ්චයකරු මෙම වසරේ විශ්‍රාම යෑමට ඇති හේතුව නිසාම ඔහුව තවදුරටත් තනතුරෙහි තබා ගැනීමේ අරමුණින් ආණ්ඩුව විසින් මෙවැනි උත්සාහයක් දරන බව ඔවුන් කියා සිටී. අනෙක් අතට ආණ්ඩුව විසින් කියා සිටින්නේ දැනට ගොඩ ගැසී ඇති ලක්ෂ 11 කට ආසන්න නඩු ඉක්මනින්ම විභාග කර අවසන් කර දැමීම සඳහා අනිවාර්යයෙන්ම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කළ යුතු හා තරයේම කියා සිටින්නේ කවුරු මොනවා කීවත් ව්‍යවස්ථා සංශෝධනයක් හරහා මෙය සිදු කරන බවය. මෙය පාර්ලිමේන්තුවේ බහුතරයක් බලය උපයෝගී කර ගනිමින් පහසුවෙන්ම කර ගැනීමට ඔවුන්ට හැකි වනු ඇත.
මෙම කාරණය පිළිබඳව ජනතාවගේ පැත්තෙන් බලන විට තේරුම් ගැනීමට ඇති කරුණු ගණනාවක්ම ඇත. අප රටෙහි විශේෂයෙන්ම පසුගිය දශක තුනක කාලය තුළ ආණ්ඩු කළ සියලු පක්ෂ තමන් හට හිතෛෂී බව සිතන අග්‍ර විනිශ්චකාරවරුන්ව පත් කර ඇති අතර, තමන්ට අකමැති අයව පාර්ලිමේන්තු බහුතර බලය උපයෝගී කරගනිමින් දෝෂාභියෝගයක් හරහා ඉවත් කළ අවස්ථාවන්ද දක්නට ඇත.
මේ අයුරින් මුල්බැස ඇති මෙම සංස්කෘතිය වර්තමාන ආණ්ඩුවද අනුගමනය කරන බවට සැකයක් නැත. විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ව්‍යවස්ථාවෙන්ම ප්‍රතිපාදන සකසා දී ඇති අතර ඒ සඳහා වූ ක්‍රියාදාමයේ ආණ්ඩුව දැනටමත් යෙදී ඇත. අනෙක් අතට කුමන ආකාරයකින් හෝ පත්වන විනිශ්වකාරවරුන්ට ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුවට යටත්ව තීන්දු ලබා දීමේ බලයද ඇත. ඔවුන් එම බලය සාධාරණය සහ යුක්තියක් පදනම් කරගත් මූලධර්මයන් වලට අනුකූලව කරනවාද යන්න ගැන නිරීක්ෂණය කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීමට පුරවැසියන්ට අයිතියක් තිබිය යුතුය.
අප රටෙහි වර්තමානයේ ඇති නීති රාමුව තුළ විනිශ්චයකාරවරුන් විසින් ලබාදෙන තීන්දු විවේචනය කිරීමට ඉඩකඩක් නැත. පහළ උසාවි වල දෙන තීන්දු අභියාචනා කිරීමට මහා අධිකරණය දක්වා යෑමට සලස්වා ඇත. මෙහිදී සැලකිල්ලට ගත යුතුව ඇත්තේ ආණ්ඩු හිතෛෂී විනිශ්චයකරුවන් හෝ අග්‍ර විනිශ්චයකරු විසින් දෙන ලද තීන්දු ජන සමාජයට බලපාන්නේ කෙසේද යන්නයි. එවැනි අවස්ථාවන් වලදී එම තීන්දු පිළිබඳව හුදෙක්ම දේශපාලන එදිරිවාදිකම් මත නොව සාධාරණය සහ යුක්තියට ඒ හරහා ප්‍රහාරයක් එල්ල වී තිබේද යන්න කරුණු සහිතව පෙන්වා දීම අත්‍යවශ්‍ය වේ.
ආණ්ඩු පක්ෂය සහ විරුද්ධ පක්ෂය අතර ඇති විරුද්ධවාදිකම් වලට හසු නොවී ප්‍රශ්නය දෙස සාධාරණව සහ ජනතාව පැත්තෙන් බැලීම අපගේ යුතුකමක් වනු ඇත.
ඇත්ත වශයෙන්ම ගොඩ ගැසී ඇති නඩු ඉක්මනට විභාග කොට අවසන් කිරීමට නම් කළ යුත්තේ දැනට ඇති උසාවි සංඛ්‍යාව සහ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමයි. කාර්ය මණ්ඩලය සහ තාක්ෂණික පහසුකම් වැඩි කිරීමයි. දැනට ලංකාව පුරාම ස්ථර කිහිපයකින් යුත් අධිකරණ 256 ක් හා විනිශ්චයකාරවරු 342 දෙනෙක් පමණක් සිටින තත්ත්වය අනුව අධිකරණ වල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම හරහා මෙම නඩු ඉක්මනින්ම විභාග කර අවසන් කළ හැකියි යන තර්කය පිළිගත නොහැක.
මෙහිදීම ආණ්ඩුවේ ප්‍රයත්නය පිළිබඳව පැහැදිලි සැකයක් අප සියලු දෙනාටම මතුව ඇති බව පිළිගත යුතුය.
ආණ්ඩු පක්ෂයේ දේශපාලන උවමනාවන් ඉටුකර ගැනීම සඳහා ස්වාධීනව පැවැත්විය යුතු වැදගත්ම ආයතනයක් වන අධිකරණ සේවාවන් වලට මැදිහත්වීම හා පාර්ලිමේන්තු බහුතර බලය උපයෝගී කර ගැනීම වැරදි සහගත බව තරයේම කියා සිටිමු.
මෙම ප්‍රයත්නය අධිකරණ ස්වාධීනත්වයට එල්ල කරන ප්‍රහාරයක් පමණක් නොව ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළ වූවත් ව්‍යවස්ථාදායකය, අධිකරණය හා විධායක ස්වාධීනත්වය තහවුරු කරන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් වලටද පටහැනි බව පෙන්වා දෙන්නෙමු.
