වහාම සෞඛ්‍ය සේවාව යාවත්කාලීන කරන්න - GMOA

sri-lanka-health-service-GMOA

නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ස්ථාවරත්වය තහවුරු කිරීම වෙනුවෙන් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව (Approved Cadre) වහාම යාවත්කාලීන කිරීමේ (Cadre Revision) අවශ්‍යතාවය පෙන්වා දෙමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතිගත රෝගී සත්කාර සේවාවන් මෙරට සෞඛ්‍ය පද්ධතිය තුල අඛණ්ඩව සහ සමානාත්මතාවයෙන් යුතුව සැපයිමෙහිලා තීරණාත්මක සාධකය වනුයේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි. 

එහිදි, සියලු සෞඛ්‍ය සේවා ස්ථානයන්හි සපයන ලබන සේවාවන්ට අනුරූපව ප්‍රමාණවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ස්ථානගත වීම අනිවාර්ය වේ. මෙම කරුණ සාක්ෂාත් කර ගැනීමේදි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පුහුණු කිරීම, බඳවා ගැනීම, ස්ථානගත කිරීම, ඔවුන් පද්ධතිය තුල රැදි සිටීම සහ බලාත්මක කිරීම එකිනෙකට බැදුණු ක්‍රියාවලියකි.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්ගේ අනුමත කාර්ය මණ්ඩල ප්‍රමණය (Approved Cadre) සමස්ත දිවයිනම ආවරණය වන විද්‍යාත්මක හා විශ්ලේෂණාත්මක සංශෝධනයක් (Cadre Revision) දීර්ඝ කාලයක් තිස්සේ සිදු වී නැත.

අවසන් වරට අනුමත වෛද්‍ය කාර්ය මණ්ඩලය යාවත්කාලීන කර ඇත්තේ 2015 වර්ෂයේදිය ඉන් අනතුරුව තෝරාගත් රෝහල් කිහිපයක පමණක් සංශෝධනය කිරීම් සිදු කර තිබුන ද සෞඛ්‍ය සේවාවේ වත්මන් අවශ්‍යතාවයන්ට සහ පුලුල් කිරීම් වලට අනුරූපිව මුලු රටම ආවරණය වන පරිදි අනුමත වෛද්‍ය හෝ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ යාවත්කාලීන වීමක් සිදු වී නැත.

2015 සිට ගෙවුණු දශකය තුල ජනගහණය වැඩිවීම, නව රෝහල් පිහිටුවීම, රෝහල් තුල නව ඒකක පිහිටුවීම, නව විශේෂඥ ක්ෂේත්‍ර සහ උසස් ප්‍රතිකාර සේවා හදුන්වා දීම, සෞඛ්‍ය පද්ධතියේ ව්‍යුහාත්මක වෙනස්කම්, රෝග රටාවන්ගේ වෙනස් වීම, වසංගත සහ ස්වාභාවික ව්‍යසන වැනි කරුණු මත සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙතින් බලපොරොත්තු වන සේවා ඉල්ලුම වේගයෙන් ඉහළ ගොස් ඇත.

එහෙත් එම වෙනස්කම් සහ සේවා පුලුල් කිරීම් වලට සාපේක්ෂව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පුලුල් වී නොමැති හෙයින් සෞඛ්‍ය සේවකයින්ට දරා ගත නොහැකි මට්ටමේ රෝගීන් සංඛ්‍යාවක් සහ සේවා ප්‍රමාණයක් ආවරණය කිරීමට සිදු වී ඇත.

2022 වර්ෂයෙන් පසු විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 2500 කට වැඩි පිරිසක් මෙරටට අහිමි වූ තත්ත්වයකදි වුවද මේ වන විට මෙරට අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව එනම් 2015 වර්ෂයේ අනුමත වූ සංඛ්‍යාව සංතෘප්ත වී ඇත.

එහෙත් එම ප්‍රමාණය ශ්‍රී ලාංකීය සෞඛ්‍ය පද්ධතියේ වත්මන් සේවා අවශ්‍යතාවය සපුරාලීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

අනුමත වෛද්‍ය කාර්ය මණ්ඩලය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය පසුගිය වසර කිහිපය පුරාම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සියලු බලධාරීන්ට අවධාරණය කලද එය මෙතෙක් ඉටු නොවීම තුල නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගතය දැඩි අවිනිශ්චිතතාවයකට පත්ව ඇත.

අනුමත කාර්ය මණ්ඩලය යාවත්කාලීන කිරීමේ අවසන් තිරණය ගත යුතු කළමණාකරන සේවා කොමිෂන් සභාවද සෞඛ්‍ය සේවාවේ සැබෑ අවශ්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බව අපගේ නිරීක්ෂණයයි. ඒ තුල ඉදිරියේදි නවක වෛද්‍යවරුන් බඳවා ගැනීමද අවහිර වී ඇත.

ඒ අනුව මෙරට සෞඛ්‍ය සේවාවේ අනාගත ස්ථායිතාවය රැක ගැනීම වෙනුවෙන්, අනුමත වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය යාවත්කාලීන කිරීම වහාම සිදු කල යුතුය. එම ක්‍රියාවලිය හුදෙක් පරිපාලන ක්‍රියාවලියට පමණක් ලඝු නොවු අනාගත දැක්මක් සහිත විද්‍යාත්මක සහ විශ්ලේෂණාත්මක සංශෝධනයක් විය යුතුය.

එහිදි,

1.රෝගීන් සංඛ්‍යාව, සේවා ප්‍රමාණය, ක්‍රියාපටිපාටි, පරීක්ෂණ, සේවාවේ සංකීර්ණත්වය සහ පැය 24 පුරා අඛණ්ඩව සපුරන සේවා අවශ්‍යතා සැලකිල්ලට ගත යුතුය.

2.පසුගිය දශකය තුළ සිදුවූ සෞඛ්‍ය සේවා පුළුල් කිරීම්, නව ඒකක හා ආයතන පිහිටුවීම් සහ නව විශය සහ විශේෂඥ ක්ෂේත්‍ර පිහිටුවීම් සැලකිල්ලට ගත යුතුය.

3.විදේශගත වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු හඳුනා ගනිමින් ඒ සඳහා සුදුසු මානව සම්පත් සැපයීමට කටයුතු කල යුතුය.

4.සෞඛ්‍ය සේවාවේ ඉදිරි අභියෝග, පුලුල් කිරීම් සහ ව්‍යුහාත්මක වෙනස්කම් ඇතුලත් කර ගත යුතුය.

5.තත්ත්ව වැඩිදියුණු කිරීම සහ රෝගී ආරක්ෂාව සඳහා අවශ්‍ය මානව සම්පත් සහතික කල යුතුය.

ඉහත කරුණු පදනම් කර ගනිමින් අදාල පාර්ශවයන්ගේ සාකච්ඡාව සහ එකඟතාවය සහිතව සෞඛ්‍ය සේවාවේ සමස්ථ කාර්ය මණ්ඩලයේ අනුමත සේවක ප්‍රමාණය වහාම යාවත්කාලීන විය යුතුය. එමෙන්ම ඉදිරියේදී මෙවැනි දීර්ඝ කාලීන ප්‍රමාදයක් ඇති නොවන පරිදි ක්‍රමවත් ලෙස අනුමත කාර්ය මණ්ඩලය සේවා අවශ්‍යතාවයන් අනුව සමාලෝචනය වන ක්‍රමවේදයක් ස්ථාපිත කල යුතුය.

ශ්‍රී ලංකීය නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ස්ථායිතාවය තහවුරු කිරීම වෙනුවෙන් සේවා අවශ්‍යතාවයන් සැපයීමට ප්‍රමාණවත් ගුණාත්මක සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් පද්ධතිය තුල අඛණ්ඩව පවත්වා ගැනීම අනිවාර්ය කරුණක් වන අතර ඒ වෙනුවෙන් වහාම අනුමත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය යාවත්කාලීන නොවන්නේ නම් මෙරට රෝහල් පද්ධතිය ඉදිරියේදි ස්ථාවරව පවත්වා ගැනීම දැඩි අභියෝගයක් බවට පත් වනු ඇත.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image