රෝහල්වල බොහෝ CT ස්කෑන් යන්ත්‍ර අඩපණයි - රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

රෝහල්වල බොහෝ CT ස්කෑන් යන්ත්‍ර අඩපණයි - රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

රජයේ රෝහල් රෝහල්වල CT ස්කෑන් යන්ත්‍ර 44න් 07 ක් අඩපණ වෙලා. සමහර රෝහල් වල රෝගීන් ප්‍රවාහනයට වැය වන මුදල මසකට රුපියල් ලක්ශ 120 ඉක්මවන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති, චානක ධර්මවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

එම නිවේදනයෙ ්වැඩිදුරටත් සඳහන් වන්නේ, රජයේ රෝහල් පද්ධතියේ තිබෙන CT ස්කෑන් යන්ත්‍ර 44න් 7ක් මේ වන විට සම්පූර්ණයෙන් අඩපණ වී ඇත. මේ හේතුව නිසා රෝගී ජීවිත දැඩි අවදානමකට සහ රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයකට ලක්වී ඇත.

බිඳවැටුණු රෝහල් අතර රත්නපුර මහ රෝහල, කරවනැල්ල මූලික රෝහල, ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල, හම්බන්තොට මහ රෝහ‍ලේ පිළිකා ප්‍රතිකාර ඒකකය, කල්මුනේ මූලික රෝහල, කළුතර මහ රෝහල සහ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය වෙයි.

කරවනැල්ල රෝහලේ යන්ත්‍රය පෙබරවාරි මස 15 වෙනිදා සිට බිදවැටී ඇති අතර දැනට රෝගීන් කෑගල්ල මහ රෝහල දක්වා ප්‍රවාහනය සිදුකරයි. මේ වන විට මසකට ලක්ෂ 30ත් 40ත් ආසන්න  මුදලක් ප්‍රවාහනය සඳහා වැයවී ඇති බව හෙළි වේ.

රත්නපුර මහා රෝහලේ යන්ත්‍රය දැනට සති 2ක සිටත් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ජුනි 30.වෙනිදා සිටත් යන්ත්‍ර බිඳ වැටීම සිදුවී ඇත. මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කය සහ ඇඹිලිපිටිය දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන්ම සිටී පරීක්ෂණ අඩාල වීමක් සිදුවී ඇත.

හම්බන්තොට මහ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ තිබෙන සිටී යන්ත්‍රය වසරකට වැඩි කාලයක් තිස්සේ බිඳවැටී ඇත. කළුතර මහ රෝහලේ සිටී යන්ත්‍රය ද වසර එකහමාරකට වැඩි කාලයක් තිස්සේ බිඳවැටී තිබෙන අතර එම යන්ත්‍රය වෙනුවට අලුත් යන්ත්‍රයක් මිලදී ගැනීමට මේ වන විට කටයුතු සිදුවෙමින් පවතී.

කල්මුණේ මූලික රෝහලේ යන්ත්‍රය දැනට මාස එකහමාරක් තිස්සේ බිඳවැටී තිබෙන අතර එම රෝගීන් මඩකලපුව සහ අම්පාර රෝහල් වෙත ප්‍රවාහනය කොට CT scan පරීක්ෂණ සිදුකිරීම කරනු ලැබේ.

ඉතා මෑතකදී විවෘත කළ ශ්‍රී ලංකා ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ තිබෙන නව CT යන්ත්‍රය සති 3ක සිට බිඳ වැටී ඇත.

මෙම යන්ත්‍ර බිඳවැටීම් ගැන සලකා බැලූ කල ඉන් සමහර යන්ත්‍ර සඳහා වාර්ෂික සේවා සේවා ගිවිසුම් යාවත්කාලීන වීම සිදු නොවී තිබෙන අතර තවත් සමහර යන්ත්‍ර සේවා ගිවිසුම් ගතව තිබුණත් යන්ත්‍ර යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද වෙමින් පවතී.

කෙසේ නමුත් මේ වන විට මෙම යන්ත්‍ර බිඳවැටීම හේතුවෙන් රෝග හඳුනා ගැනීම ප්‍රමාද වීම සහ එමගින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ප්‍රමාද වීම මගින් රෝගී ජීවිත ඉතා අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන අතර රෝගීන් වෙනත් රෝහල් වලට ප්‍රවාහනය සඳහා වැය කළ සම්පූර්ණ මුදල ගණන් බැලූ කල නවීන යන්ත්‍ර කිහිපයක් මිලදී ගැනීමේ හැකියාව පවතින බව  හෝ තිබෙන යන්ත්‍ර නඩත්තු කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට හැකි බව ප්‍රත්‍යක්ෂවේ.

මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු පාර්ශවයන් කඩිනමින් තීන්දු තීරණ නොගැනීම එම තීන්දු ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් සෞඛ්‍ය සේවාව අකාර්යක්ෂම බව සහ වැය බර අධික බව ජනතාවට පෙන්වා දෙන අවස්ථාවන් ලෙස පෙන්වා දිය හැකිය.

සමහර පාර්ශවයන් සෞඛ්‍ය සේවාව පුද්ගලීකරණය කිරීමට ද යෝජනා කරන්නේ මෙවැනි තත්ත්වයන් උපයෝගී කරගෙන බවත් යම් හෙයකින් එසේ පුද්ගලිකරණය කිරීමට තීරණ ගතහොත් මීටත් වඩා වැඩි වියදමක් රජයට දරන්නට සිදුවන බව අපගේ විශ්වාසයයි.