මහජන බැංකුවේ විශ්‍රාමිකයින්ගේ සංගමයේ නිලවරණයට පොල්ලක්

මහජන බැංකුවේ විශ්‍රාමිකයින්ගේ සංගමයේ නිලවරණයට පොල්ලක්
මහජන බැංකුවේ විශ්‍රාමිකයින්ගේ සංගමයේ 2022/2023 නිලවරණය පැවැත්වීම ලබන 17වැනිදා දක්වා වළකාලමින් කොළඹ දිසා විනිසුරු පුර්ණීමා පරණගම මහත්මිය විසින් පසුගිය 04 වෙනි දින වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
 
සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි අන්දමින් නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව පවසමින් එම සංගමයේ සාමාජිකයින් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ විනිසුරුවරිය මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් එදිනට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් වගඋත්තරකරුවන්ට අතුරු තහනම් දැන්වීම් නිකුත් කර ඇත.
 
බන්ධුල වසන්ත කුමාර, ඩී.සී. සපරමාදු සහ වික්ටර් ජයවර්ධන යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මහජන බැංකු විශ්‍රාමිකයින්ගේ සංගමය, එහි සභාපති එච්.එම්. ජයවර්ධන මහතා ඇතුළු එහි නිලධාරීන් 31 දෙනෙකු නම් කොට ඇත.
 
එස්.බී. දිසානායක ඇෂෝසියේට්ස් නීතීඥ සමාගම මඟින් පැමිණිල්ල ඉදිරිපත් කරන පෙත්සම්කරුවෝ තම සංගමයේ 7000 කට අධික පිරිසක් සාමාජිකත්වය දරණ බවත්, රුපියල් බිලියන 50 කට ආසන්න මුදලකට හිමිකම් ඇති බවත් මාසිකව රුපියල් මිලියන 20 ක් පමණ කළමනාකරණය කරන බවත් සඳහන් කොට ඇත.
 
මහජන බැංතුවේ විශ්රාමිකයින්ගේ සංගමයේ ව්යවස්ථාව අනුව සංගමයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගන්නේ නම් වාර්ෂික මහසභා රැස්වීමකදී ඡන්ද විමසීමකින් නිලධාරීන් පත් කර ගත යුතු බවත්, එසේ නිලවරණයක් පැවැත්වීමට හැකියාව තිබියදීත් වගඋත්තරකරවෝ 2019 වර්ෂයේ සිට එසේ කොට නැතැයිද ඔවුන් 2022/2023 වර්ෂය සඳහා සංගමයට නිලධාරීන් පත් කර ගැනීම සඳහා කණ්ඩායම් වශයෙන් නාම යෝජනා කැඳවා ඇති බවත්,  සඳහන් කරන පෙත්සම්කරුවෝ මහසභා රැස්වීමක් හෝ ඡන්ද විමසීමක් හෝ පැවැත්වීමකින් තොරව සංගමයේ 2022/2023 වර්ෂය සඳහා නිලධාරීන් පත් කර ගැනීමට කටයුතු කරන බවත් චෝදනා කරති.
 
ඡන්ද විමසීමකින් හැර කණ්ඩායම් වශයෙන් නාමයෝජනා කැඳවා සංගමයේ නිලවරණය පැවැත්වීමට වගඋත්තරකරුවන්ට හිමිකමක් නොමැති බවටද සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට වගඋත්තරකරුවන්ට නියම කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ සංගමයේ 2022/2023 නිලවරණය පැවැත්වීම වළකන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති.
 
මෙම පෙත්සම ඉදිරිපත් කරමින් නීතීඥ තරිඳු වීරසේන මහතා සමඟ පෙනී සිටි ජධිපති නීතීඥ එස්.කේ ලංකාතිලක මහතා කරුණු ඉදිරිපත් කරමින් මේ තත්වය අනුව මහජන බැංතුවේ විශ්රාමිකයින්ගේ සංගමයට 2022/2023 වර්ෂය සඳහා නිලධාරීන් පත් කරගනු ලැබුවහොත් පෙත්සම්කරුවන්ට අප්රතිකාරි පාඩුවක් සිදුවන බවව පෙන්වා දුන්නේය.
 
එහෙයින් පෙත්සම්කාර සංගමයේ 2022/2023 වර්ෂය සඳහා නිලධාරීන් පත් කර ගැනීම සඳහා කණ්ඩායම් වශයෙන් නාම යෝජනා කැඳවමින් පසුගිය සැප්තැම්බර් 12 දාතමින් යුතුව නිකුත් කළ ලේඛණය අනුව නිලවරණයක් පැවැත්වීම වළකන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ජධිපති නීතීඥ එස්.කේ. ලංකාතිලක  අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව ලබන 17 වැනිදා දක්වා බලපැවැත්වෙන අන්දමින් අදාළ වාරණ නියෝගය නිකුත් කළ විනිසුරුවරිය මෙම පෙත්සම එදින යළි කැඳවීමටද නියම කළාය.
 
පෙත්සම්කරුවන් වෙනුවෙන් එස්.බී දිසානායක ඇෂෝෂියේට්ස් නීතීඥ සමාගමේ උපදෙස් මත නීතීඥ තරිඳු වීරසේන සමඟ ජධිපති නීතීඥ එස්.කේ. ලංකාතිලක පෙනී සිටියේය.