ගුරුවරුන් 8000ක් බඳවාගන්න සැලසුම්

ගුරුවරුන් 8000ක් බඳවාගන්න සැලසුම්
ලබන වසර මුල වන විට පාසල් සඳහා ගුරුවරුන් 8,000ක් බඳවා ගන්නා බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් පාර්ලිමේන්තුවේදී පසුගිය 03 වෙනි දින අනාවරණය කර තිබේ.
 
මේ වන විටත් ඊට අදාළව අධ්‍යාපන විද්‍යා පීඨයන්හි විභාග පැවැත්වීමට කටයුතු කර ඇති බවත්, ඒ අනුව ඉන් 8000ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කියා සිටියේය. 
 
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ විසින්  ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. 
 
මීට අමතරව ගුරු සේවයට එක්වීමට කැමැති සංවර්ධන නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා ඔවුන්ට විභාගයක් පවත්වා ඉන් ලකුණු මත පළාත් පාසල්වල ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට කටයුතු කරන බව ද ප්‍රේමජයන්ත් අමාත්‍යවරයා කීවේය. 
 
ඔවුන් ගුරු සේවයට බඳවා ගෙන වසර තුනක් ඇතුළත ජාතික අධ්‍යාපන ආයතනයේ එක් අවුරුදු ඩිප්ලෝමාවක් දී පුහුණු ගුරුවරයෙකු බවට පත්කිරීමට සැලසුම් කර තිබෙන බව ද ඔහු අනාවරණය කළේය.
 
එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
 
"පසුගිය වසර දෙකට අදාළව 8000කට විභාග පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ලබන අවුරුද්දේ මුල වන විට ඒ 8000ටම පත්වීම් දෙන්න කටයුතු කරනවා. වසරකට ගුරුවරු හාරදහසක් පන්දහසක් අතර පිරිසක් විශ්‍රාම යනවා. පසුගිය කාලයේ විශ්‍රාම යෑමේ වයස වැඩි කළ නිසා විශ්‍රාම යන්න හිටපු අය නැවතුණා. ඒ අනුව මේ වසරේ යන පිරිසයි ඒ අයයි එකතු වුණාම 8000ක් විතර වෙනවා. ඒ 8000ට මේ 8000 සම්පූර්ණ කර ගන්න පුළුවන්. උපාධිධාරීන් සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අවසන් කරනවා. සංවර්ධ නිලධාරීන් ලෙස සිටින සියලු දෙනාගෙන් වයස් භේදයක් නොතකා අයදුම්පත් කැඳවා සමස්ත ලංකාවේ විභාගයක් පවත්වනවා. එහි ලකුණු මත පළාත්වලට භාර දී සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයක් කර පත්වීම් දෙනවා. පත්වීම් දී අවුරුදු 3ක් ඇතුළත ජාතික අධ්‍යාපන ආයතනයේ එක් අවුරුදු ඩිප්ලෝමාවක් දී පුහුණු ගුරුවරයෙක් කරනවා.
 
ගුරු වෘත්තිය සඳහා ජාතික විශ්වවිද්‍යාලයක් බිහි කරනවා. එහිදී විෂය අනුව මීට වඩා වැඩි කරන්න පුළුවන් වේවි. ඒ තුළින් අවුරුදු තුනක් න්‍යායාත්මක පුහුණුව දී අවුරුද්දක ප්‍රායෝගික පුහුණුව ලබා දෙනවා. අවුරුදු 4කදි පන්ති කාමරයට එන්නේ පුහුණුව ලත් ගුරුවරයෙක්."