EPF පනතට සංශෝධන ගේනවා - හර්ෂ ද සිල්වා

EPF පනතට සංශෝධන ගේනවා - හර්ෂ ද සිල්වා

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට හිමිවිය යුතු ප්‍රතිලාභ සුරැකීම සඳහා ටී.බී. ඉලංගරත්න 1958 දී හඳුන්වාදුන් සේවක අර්ථසාධක අරමුදල් පනතට සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී සංශෝධන ගෙන එනබව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ඔහු කොළඹදී මාධ්‍ය අමතමින් සඳහන් කළේ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව මගින් මෙම සංශෝධන ඉදිරිපත් කරන බවත් එහිදී සාමාජිකයින්ට නිශ්චිත අවම ප්‍රතිලාභයක් තීරණය කිරීම හෝ අනිකුත් ආයෝජන සඳහා ලැබෙන පොලී ආදායමට සමාන පොලී ප්‍රතිලාභයක් ගෙවීම හෝ ධන මූර්ත පොලියක් ගෙවීම සඳහා මෙම සංශෝධන යෝජනා මගින් මග පෙන්වන බවයි. 

'' මේ වනවිට මේ අරමුදලේ ගිණුම් ලක්ෂ 196 ක් තියනවා. මෙයින් ලක්ෂ 26 ක් විතර සක්‍රීයයි. මොවුන්ට ලැබෙන ප්‍රතිලාභය ඉදිරි 15 වසර තුළ ස්ථීර විය යුතුයි. ඒකයි, අපි මේ සංශෝධන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ.'' යනුවෙන් මෙහිදී මන්ත්‍රීවරයා පැවසීය.

පසුගියදා සිදුකළ දේශීය ණය ප්‍රශස්තකරණයේදී ඒක පාර්ශවීය ලෙස සේවක අර්ථසාධක අරමුදල මත පමණක් බර පටවා තිබෙන බවටත් මෙය සාධාරණත්වයේ මූලධර්ම උල්ලංඝනය කරන බවටත් මේ වනවිට චෝදනා එල්ල වී තිබේ.