EPF අරමුදලට අත නොතබන්නට කැබිනට් තීන්දුවක්

EPF අරමුදලට අත නොතබන්නට කැබිනට් තීන්දුවක්

මෙරට ලක්ෂ සංඛ්‍යාත සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල්වලින් අධිභාර බද්දක් අයකරගැනීමට ගෙන ආ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ ඇතැම් අමාත්‍යවරුන් දැඩි ලෙස විරෝධය පළකිරීම තුල එම යෝජනාව හකුලා ගැනීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට සිදුව තිබේ.

අද (14) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට එම යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදී මුලින්ම විරෝධය පළකර ඇත්තේ බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා ය.

එහිදී මුදල් අමාත්‍යවරයා පවසා ඇත්තේ, එසේනම් රජයට මුදල් සොයා ගැනීමට වැට් බද්ධ සියයට 3 කින් වැඩිකිරීමට සිදුවන බවයි.

රුපියල් මිලියන දෙදහසකට වඩා බදු ආදායමක් ලබාගත හැකි සමාගම් සහ පුද්ගලයන් මත පැනවූ සියයට 25ක අධිභාර බද්ද ස්ලැබ් මට්ටමින් පනවා අදාළ මුදල් සොයා ගැනීමට ගම්මන්පිල අමාත්‍යවරයා මෙහිදී යෝජනා කර ඇත. ඒ අනුව, රුපියල් මිලියන එක්දහස් පන්සියේ සිට දෙදහස දක්වා සියයට 20ක බද්ධක් ද වශයෙන් ආදායම් මට්ටමින් බදු පැනවීමට ඔහු යෝජනා කර තිබේ.

මුදල් අමාත්‍යවරයා එම යෝජනාවට ද විරෝධය පළකර තිබේ.

එහිදී නිමල් සිරිපාල ද සිල්වා, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා  මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් අධිභාර බද්දට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල ඇතුලත් නොකරන්නැයි දැඩි ලෙස බලපෑම් කර ඇත.

ඒ අනුව, රුපියල් මිලියන දෙදහසකට වඩා බදු ආදායමක් ලබාගත හැකි සමාගම් සහ පුද්ගලයන් මත පැනවූ සියයට 25ක අධිභාර බද්දට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල් 11ක් ඇතුලත් නොකිරීමට මුදල් අමාත්‍යවරයා එකඟත්වය පළකර ඇත.

රජය විසින් සේවක අර්ථසාධක අරමුදලේ 25%කට අධිභාර පැනවීම පිළිබඳව විපක්ෂයෙන් මෙන්ම වෘත්තීය සමිතිවලින් බරපතල විරෝධයක් එල්ලකර   තිබිණ.

(the leader)