ETF ගෙවීම් ඔන්ලයින් වලින් පමණයි

ETF ගෙවීම් ඔන්ලයින් වලින් පමණයි

පෞද්ගලික අංශයේ සේවකයන් ලක්ෂ 28ක් සාමාජිකත්වය දරන සේවා නියුක්තියන්ගේ භාර අරමුදලට (ETF) දායකත්ව මුදල්‌ ප්‍රේෂණය කිරීම 2023 වසරේ පෙබරවාරි මස 01 දා සිට ක්‍රියාත්මක පරිදි මාර්ග ගත ක්‍රමවේදය (Online) ඔස්සේ පමණක් සිදු කළ යුතු බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි.

ඒ අනුව, සේවකයන් 15 දෙනකුට වඩා සේවය කරන ආයතනවල සේවා යෝජකයන් අදාළ ගෙවීම සිදු කිරීම සහ මාසික වාර්තා ඉදිරිපත් කිරීම ද මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ සිදු කළ යුතු බව ඇමැතිවරයා පෙන්වා දෙයි. මෙම ක්‍රමවේදය ඔස්සේ සේව්‍ය පාර්ශ්වයට වඩාත් පහසුවෙන් සිය සේවකයන්ගේ දායකත්ව මුදල් සේවා ස්ථානයේ සිටම ප්‍රේෂණය කිරීමේ හැකියාව ලැබෙන අතර සේවක පාර්ශ්වයට ද දායකත්ව මුදල් ආයතනය විසින් ගෙවා ඇති බව තහවුරු කර ගත හැකි ය.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ අදාළ මුදල් ප්‍රේෂණය වන ආකාරය පිළිබඳ කෙටි පණිවිඩ මගින් සේවකයන්ට දැන ගැනීමේ අවස්ථාව නුදුරේ දී ලබාදීමට ද කටයුතු කරන බවයි. දැනටමත් බහුතරයක් ආයතන මෙම මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ සිය සේවාවන් ලබා ගන්නා අතර ඉතිරි ආයතන ද ඊට අනුගත කරවා ගැනීම මෙම තීරණයේ අරමුණ බව ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

(aruna)