හෙද ඉල්ලීම් අසාධාරණ බව GMOA කියයි

හෙද ඉල්ලීම් අසාධාරණ බව GMOA කියයි

 

හෙද නිලධාරීන්ගේ ඉල්ලීම් පදනම් කරගෙන රාජ්‍ය සේවාවේ වැටුප් ව්‍යුහයේත්, රාජ්‍ය සේවයේ කාණ්ඩ ව්‍යුහයේත් වෙනස් කිරීම් කැබිනට් පත්‍රිකා මගින් සිදු කිරීමට ගන්නා උත්සහය හේතුවෙන් සමස්ත සෞඛ්‍ය සේවාවත්, රාජ්‍ය සේවයත් දැඩි අර්බුදකාරී තත්ත්වයකට යොමු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රාජ්‍ය සේවයේ මූලික වැටුප, දීමනා හා ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කරන නිවැරදි ක්‍රමවේදය පිළිබඳව ප්‍රධාන කරුණු 5ක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් පෙන්වා දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසයි.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ, එවැනි කිසිදු පියවරක් අනුගමනය නොකර හෙද නිලධාරීන් සඳහා කැබිනට් පත්‍රිකාවක් මගින් සිදු කිරීමට යන සංශෝධන හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවයේත්, සෞඛ්‍ය සේවාවේත් සියලු සිරස් හා තිරස් සේවක කණ්ඩායම් අතර දැඩි විෂමතාවන් ඇතිවන බවත් එම කණ්ඩායම් සඳහා දැඩි අසාධාරණයන් සිදු වන බවත් ය.

එමගින් ජාතික වැටුප් ප්‍රතිපත්තියත්, රාජ්‍ය සේවයේ ව්‍යුහයත් අත්තනෝමතික ලෙස ඒකපාර්ශවික සංශෝධනයකට ලක් වීම නිසා සම්පුර්ණ රාජ්‍ය සේවයේත්, සෞඛ්‍ය සේවයේත් වෘත්තීය සමිති, වෘත්තිය සමිති ක්‍රියාමාර්ග දාමයකට යොමු වනු ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

ඒ අනුව, ජාතික වැටුප් කොමිෂන් සභාවේ විද්වත් සංයුතිය ගැසට් පත්‍රයක් මගින් නිවැරදි කිරීම, හෙද සේවාවේ හා රාජ්‍ය සේවයේ වැටුප් දීමනා හා ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා වූ යෝජනා විෂයභාර අමාත්‍යංශය මගින් ජාතික වැටුප් කොමිසන් සභාවේ විද්‍යාත්මක අධ්‍යයනය සහ අනුමැතිය සඳහා යොමු කිරීම සහ ජාතික වැටුප් ප්‍රතිපත්තියට අනුපාතික වන හා විවිධ සේවා වලට අදාළ දීමනා ඇතුළත් වන ජාතික දීමනා ප්‍රතිපත්තියක් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සකස් කොට එය ජාතික වැටුප් ප්‍රතිපත්තිය තුළට අන්තර්ග්‍රහණය කිරීම යන විසඳුම් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය, කැබිනට් මණ්ඩලය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලු බලධාරීන්ගෙන් එම සංගමය ඉල්ලා සිටියි.

(ශ්‍රී ලංකා මිරර්)