උත්සව සමයේ මත්පැන් අලෙවිසැල් වසා දමන ලෙස GMOA ඉල්ලයි

උත්සව සමයේ මත්පැන් අලෙවිසැල් වසා දමන ලෙස GMOA ඉල්ලයි
මත්පැන් පානය කර වගකීම් විරහිත් අන්දමින් හැසිරෙන තැනින් තැන සංචරණය කරන පුද්ගලයින් නිසා කොවිඩ් වසංගතය පැතිර යෑමේ අවදානමක් පවතින බැවින් එළැඹෙන උත්සව සමයේ දිවයින පුරා සියලුම මත්පැන් අලෙවි සැල් වසා දමන ලෙස රජයේ වෛද‍ය සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
 
විශේෂයෙන් වර්තමානය වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් ගේ සංඛ්‍යාව සීයයට 65-70 ක ප්‍රමාණයක ප්‍රතිශතයක් පෙන්නුම් කරන අවස්ථාවේ මත්පැන් අලෙවිසල් විවෘත කිරීම හරහා ඇතිවිය හැකි අවදානම් සහගත සංචරණයන් නිසා 2021 වර්ෂය ආරම්භයේදී යලිත් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 80%ක මට්ටමට කොවිඩ් ආසාදිතයින් ගේ සංඛ්‍යාව ඉහළ යෑමට බෙහෙවින් ඉඩ ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ.
 

එබැවින් මේ භයානක තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් බස්නාහිර පළාතෙන් විශේෂයෙන් කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් අනපේක්ෂිත අන්දමේ කොවිඩ් පොකුරු බිහිවීම වැළැක්විය නොහැකි බවයි හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් නිවේදනය කර ඇත්තේ.