පරිඝණක මෘදුකාංග වැඩසටහනේ පාර්ශවකරුවන් සමග GMOA හදිසි රැස්වීමක් ඉල්ලයි

පරිඝණක මෘදුකාංග වැඩසටහනේ පාර්ශවකරුවන් සමග GMOA හදිසි රැස්වීමක් ඉල්ලයි

ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය වන පරිඝණක මෘදුකාංග වැඩසටහන තිරසාර පදනමකින් ක්‍රියාත්මක කිරීම ඉලක්ක කරගත් පාර්ශවකරුවන්ගේ හදිසි රැස්වීමක් කැඳවන මෙන් ඉල්ලා සිටිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සදහන්ව ඇත්තේ, ඖෂධ ප්‍රසම්පාදනය ක්‍රියාවලිය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය වන පරිඝණක මෘදුකාංග වැඩසටහනක් තිරසාර පදනමකින් ක්‍රියාත්මක වීමේ වැදගත්කම පිළිබඳ ඔබ හොඳින් අවබෝධ කරගෙන ඇතැයි අපේක්ෂා කරමු.

මේ පිළිබඳව පාර්ලිමේන්තු කෝප් කමිටුව තුලදීද මීට ඉහතදී සාකච්ඡාවට ලක් වූ අතර ඒ වන විට සකස් කර තිබු මෘදුකාංගයේ තාක්ෂණික ගැටලු හා ඒ සඳහා වියදම් කළ මුදලට සාපේක්ෂව ලැබුණු ප්‍රතිලාභ පිළිබඳ බරපතල ගැටලු ගණනාවක් එහිදි මතුවිය.

වර්තමානයේ දිවයින පුරා පැන නැඟි ඇති ඖෂධ අර්බුදය සඳහා රටේ පවතින ආර්ථික අර්බුදය ප්‍රධාන හේතුව ලෙස හුවා දැක්වුවද, ඉදිරියේදි ආර්ථික ගැටලු මඟහරවා ගෙන අවශ්‍ය තරමට ප්‍රතිපාදන සහතික කරන පසුබිමක වුවද, මේ වන විට පවතින ක්‍රමවේදය මගින් ප්‍රසම්පාදන කටයුතු සිදු කළහොත් සුභදායි ප්‍රතිඵල නොලැබෙනු ඇතැයි යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අවධාරණය කරමු.

අප සංගමය වෙත ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබි ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලය මගින් මේ වන විට සකස් කර නිමවා ඇති පරිගණක යෙදවුම මේ සඳහා යොදා ගැනීම හරහා සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගත හැකි වනු බවයි.

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය හා ඊට අනුබද්ධ ප්‍රසම්පාදන ක්‍රියාවලියට දායක වන ආයතන තුල කාලයක් පුරා රැඳී සිටින සමහරක් නිලධාරීන් මෙවන් සාධනීය වැඩපිළිවෙලක් ස්ථාපිත වීමට බාධා නිර්මාණය කරනු ඇතැයි යන මතවාදයද පහසුවෙන් බැහැර කළ නොහැකි බව අතීත අත්දැකීම් අප හට පෙන්වා දෙයි.

ඒ අනුව උක්ත කරුණ පිළිබඳ සාකච්ඡා කොට අවසන් තීරණ කරා එළඹීම සඳහා පාර්ශවකරුවන්ගේ හමුවක් වහාම කැඳවන මෙන් අවධාරණය කරමි.

මේ පිළිබඳ ඔබ දක්වන උනන්දුව අවම වශයෙන් ඉදිරි කාලය තුල හෝ රෝහල් පද්ධතිය තුල අත්‍යවශ්‍ය ඖෂධ හිඟතාවයකින් තොරව සහතික කිරීම සඳහා හේතුවන බව කාරුණිකව පෙන්වා දෙමු.