උග්‍ර ඖෂධ හිඟයට වහාම මැදිහත් වන ලෙස  GMOA ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලයි

උග්‍ර ඖෂධ හිඟයට වහාම මැදිහත් වන ලෙස  GMOA ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලයි

ලංකාව තුළ පවතින දැඩි ඖෂධ හිඟය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය වෙත (26) දින ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරි ලෙස මැදිහත් වන ලෙස ඉල්ලා ලිපියක් බාරදීමට කටයුතු කරන ලදි.

මෙම ලිපිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ඇතුළු නිලධාරින් පිරිසක් පැමිණි ලබාදීමට කටයුතු කරන ලදි.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ඖෂධ අර්බුදය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දුන් ලිපියේ සිංහල පරිවර්තනය හා ඉංග්‍රිසි ලිපියද පහතින් දැක්වේ

අධ්‍යක්ෂ ජනරාල්,

ලෝක සෞඛ්‍ය සංවිධානය,

ජිනීවා.

ශ්‍රී ලංකා නියෝජිත,

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින්,

දිනෙන් දින උග්‍ර වන ඖෂධ අර්බුදය  හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකීය පුරවැසියන් සම්බන්ධයෙන් දැනුවත් කිරීම.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන විශාලතම සහ පැරණිතම වෛද්‍යවරුන්ගේ සංවිධානයක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අපි, ශ්‍රී ලාංකීය පුරවැසියන් මේ මොහොතේ පීඩාවට පත් කරමින් තිබෙන ඖෂධ අර්බුදය  සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීමට කැමැත්තෙමු.

මෙම අර්බුදය නිර්මාණය වීමෙහිලා ප්‍රධාන කරුණු ත්‍රිත්වයක් දායක වී ඇති බව අපගේ නිරීක්ෂණයයි.

  1. ඖෂධ සහ උපකරණ හිඟය
  2. ඖෂධ වල මිල දරා ගත නොහැකි ලෙස ඉහළ යාම
  3. ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවන වංචා, දූෂණ සහ විෂමාචාර පිළිබඳ චෝදනා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිතියක භූමිකාවෙන් ඔබ්බට ගොස් වගකිවයුතු වෘත්තීයවේදීන්ගේ සංවිධානයක් ලෙස මෙම ගැටළුව විසඳීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් සමඟ සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇත.

වත්මන් ඖෂධ අර්බුදයත්, ඒ හේතුවෙන් ජනතාව මුහුණදෙමින් පවතින දුෂ්කරතාත් පූර්ණකාලීනව විසඳීමේ අරමුණින්, ගැටලුව පිළිබඳව පූර්ණ අධ්‍යයනයකින් පසුව කෙටුම්පත් කරන ලද දස වැදෑරුම් යෝජනා මාලාවක් ද ඉදිරිපත් කර ඇත.

එහෙත් ශ්‍රී ලාංකීය සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු වගකිව යුතු බලධාරීන් කිසිවෙකුත් එම යෝජනා ක්‍රියාත්මක කිරීමටත්, එමඟින් රට තුළ පවතින ඖෂධ සහ උපකරණ හිඟය විසඳීමටත් කිසිදු සාධනීය සහ ක්‍රියාකාරී මැදිහත්වීමක් හෝ දායකත්වයක් දක්වා නොමැති වීම කනගාටුදායක කරුණකි.

එබැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් 2023 ජනවාරි මස 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ අර්බුදයට විසඳුම් ලබා දීමට බල කරමින් කලු විරෝධතා සතියක් ද ප්‍රකාශයට පත්කර ඇත.

එමෙන්ම මෙම ගැටලුවට ප්‍රායෝගික සහ තිරසාර විසඳුම් ලබා දීමට බල කරමින් ශ්‍රී ලාංකිකයන් ලක්ෂ ගණනකගේ අත්සනින් යුතු මහජන පෙත්සමක් අත්සන් තැබීම ද රට පුරා සියලුම රෝහල් වලදී දියත් කර ඇත.

මෙම තීරණාත්මක මොහොතේ දී ජනතාව මුහුණ දී ඇති ඖෂධ අර්බුදය විසඳීම සඳහා ඉක්මන් සහ තිරසාර විසඳුම් ලබාදීමට ක්‍රියාකාරීව සහ කාර්යක්ෂමව මැදිහත් වන ලෙස මෙරට සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමටත්, ඊට අවශ්‍ය සහය ලබා දීමටත් ඔබ සංවිධානයේ මැදිහත්වීම ඉතා අගය කොට සලකමු.

උග්‍ර වෙමින් පවතින ඖෂධ අර්බුදයට ස්ථිරසාර විසදුම් ලබාදී ස්වකීය පුරවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා, සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අඛණ්ඩ ක්‍රියාකාරී සහයෝගය සහ මැදිහත්වීම අත්‍යාවශ්‍ය බව අපි තරයේ විශ්වාස කරමු.

ස්තුතියි,

මීට විශ්වාසි,

වෛද්‍ය හරිත අලුත්ගේ,

ලේකම්.