සෞඛ්‍ය ක්ෂේත්‍රයට කරනදේ ගැන GMOA විමසිල්ලෙන්

සෞඛ්‍ය ක්ෂේත්‍රයට කරනදේ ගැන GMOA විමසිල්ලෙන්

සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට ඍජු ලෙස අදාල වන ඉහත දක්වා ඇති ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳ මේ වන විට සැලකිය යුතු සංවාදයක් නිර්මාණය වී ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ලෙස නිරීක්ෂණය කරමින් සිටින බව පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදි.

පහත සඳහන් සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි කරලියට පැමිණ ඇති ව්‍යුහාත්මක වෙනස්කම් සම්බන්ධයෙන් හා නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ අභියෝගය හා ඒ සදහා වන තීරණාත්මක කාර්යභාරය වෙනුවෙන් කටයුතු කරන බවත්,

1. රජයේ රෝහල් වල ගෙවන වාට්ටු සංකල්පය

2. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේ උත්සාහයන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් එයට ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බවත් මෙම මාධ්‍ය හමුවේදී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත් අලුත්ගේ, මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහත්වරුන් අදහස් දක්වමින් පළ කළ අදහස් වූයේ,

පළමුවෙන්ම කිව යුත්තේ මෙවන් බරපතල ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳ තීන්දු තීරණ වලට එළඹීමට ප්‍රථම අදාල     ක්ෂේත්‍රයන්හි හඳුනාගෙන ඇති සියලු ප්‍රධාන පාර්ශවකරුවන්ගේ එකඟතාවය සාකච්ඡාමය ක්‍රියාමාර්ග හරහා ලඟා කරගැනීම අත්‍යවශ්‍ය බවයි. එය තහවුරු වන පාරදෘශ්‍ය ක්‍රියාදාමයක් බලධාරීන් වෙතින් නිරීක්ෂණය නොවන බව කනගාටුවෙන් යුක්තව සඳහන් කළ යුතුය.

අතීත අත්දැකීම් අධ්‍යයනය කිරීමේදී එවන් අසම්පූර්ණ හා ඒකපාර්ශවික ක්‍රියාමාර්ග අවසන් වී ඇත්තේ බරපතල සමාජ, ආර්ථික ඛේදවාචකයන්ගෙන් බව සිහිපත් කරමු. 

ඒ අනුව මේ පිළිබඳ තවදුරටත් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පෙර පාර්ශවකරුවන් සමඟ පුලුල් සංවාදයන්ට බඳුන් විය යුතු බව පෙන්වා දෙමු. එමෙන්ම එම සංවාදය තුල මෙම වෙනස්කම් සමඟ බැඳුණු තාක්ෂණික කරුණු සඳහා ප්‍රමුඛතාවය ලබාදෙමින් ක්‍රියාත්මක විය යුතුය යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ස්ථාවරයයි.

එමෙන්ම එහිදී මේ වන විට රට තුළ මතුව ඇති සමාජ, ආර්ථික පසුබිම හා ඒ හරහා නිර්මාණය වී ඇති ප්‍රවණතාද සැලකිල්ලට ගත යුතුය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කිරීමේ උත්සාහය හරහා වර්තමානයේ බොහෝ දුෂ්කරතා මැද පවත්වා ගෙන යන රාජ්‍ය විශ්ව විද්‍යාල (වෛද්‍ය පීඨ) පද්ධතියට වන ඍජු හා අනියම් බලපෑම් සැබෑ ලෙසම අධ්‍යයනය කළ යුතුය.

රජයේ රෝහල් වල ගෙවන වාට්ටු සංකල්පය ක්‍රියාත්මක කිරීම හරහා පවතින රෝහල් පද්ධතියටත්, එම පද්ධතිය හරහා සේවය ලබා ගන්නා අතිමහත් බහුතරයක් වූ අහිංසක, දුප්පත් රෝගී ජනතාවටත් ඔවුන්ගේ ජීවත්වීමේ අයිතියටත් මේ හරහා වන බලපෑම් අධ්‍යයනය කළ යුතුමය.

මේ කරුණු පිළිබඳ අදාල ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණික විද්වතුන් හා විශේෂඥයින්ගෙන් සමන්විත කමිටු 2 ක් පත්කර ඒ හරහා පුළුල් අධ්‍යයනයක් සිදු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස බලධාරීන්ට යෝජනා කරමු. එහිදි මෙවන් ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමේ සැබෑ අවශ්‍යතාවය පිළිබඳව තාක්ෂණික විශ්ලේෂණයක් සිදු කිරීම අනිවාර්යය.

එමෙන්ම ඉදිරිපත්ව ඇති යෝජනා පිළිබඳව වඩා පාරදෘශ්‍ය ලෙස කටයුතු කරමින් මහජනතාව අතර සංවාදයකට ඉඩ ලබා දිය යුතු බව පෙන්වා දෙමු. අතීත සිදුවීම් හරහා අප උගත් පාඩම් එලෙසින් ක්‍රියාවට නැංවීමේ වැදගත්කම යලි යලිත් සිහි කැඳවීමට අපි කැමැත්තෙමු.

නිදහස් අධ්‍යාපනයේත්, නිදහස් සෞඛ්‍ය සේවයේත් ඉදිරි යහපැවැත්ම සඳහා මෙවන් ව්‍යුහාත්මක වෙනස්කම් හරහා විය හැකි බලපෑම් සමීපව අධ්‍යයනය කොට ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බව බලධාරීන් වෙත දැඩි ලෙස අවධාරණය කරමු.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස මතු වෙමින් පවතින ප්‍රවණතාවයන් මේ වන විටත් දැඩි සැලකිල්ලකින් යුක්තව අධ්‍යනය කරමින් සිටින අතර අප සියලුම දෙනා ප්‍රතිලාභින් වන නිදහස් අධ්‍යාපනයේත්, නිදහස් සෞඛ්‍ය සේවාවේත් තිරසාර ඉදිරි ගමන‌ වෙනුවෙන් ඉදිරි කාලය තුල ඕනෑම බරපතල තීන්දු තීරණ වෙත එලඹිමට පැකිලීිමකින් තොරව ඉදිරිපත් වන බව මෙහිලා සපථ කරමු.