සරසවි ඇදුරන්ගේ ගැටලු ලිහන්න ජනපතිගේ අවධානය යොමුවුණාලු!

සරසවි ඇදුරන්ගේ ගැටලු ලිහන්න ජනපතිගේ අවධානය යොමුවුණාලු!
IMF සංශෝධනවලදී තම බදු ගැටලුවට විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා එකඟවූ බවත්, මූල්‍ය සහන සහ සෙසු වරප්‍රසාද සඳහාද,  සාධාරණ විසදුමක් ලබා දීමට ජනාධිපති එකඟ වූ බවත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
 
ඒ් අනුව වර්තමාන අර්ථික පසුබෑම හමුවේ විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වා ගෙන යාමේ හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුහුණ පා ඇති ගැටළු සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බැලීමක් සිදුකර ඇති බවත්, විශ්වවිද්‍යාල පද්ධතියේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු හඳුනාගෙන ඒවා පිරවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී බලධාරින්ට උපදෙස් දී ඇති බවත් කියැවෙයි.
 
වාර්ෂිකව විශ්වවිද්‍යාල වලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවට සාපේක්ෂව පවතින අධ්‍යයන පහසුකම් ප්‍රමාණවත් නොවන බව  මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින්  පෙන්වා දී ඇත.
 


 


 
මේ වන විට පවතින මූල්‍ය ප්‍රතිපාදන සීමාවන් කළමනාකරණය කර ගනිමින් විශ්වවිද්‍යාල පද්ධතියේ පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, වෛද්‍ය පීඨ, ඉංජිනේරු පිඨ සහ විද්‍යා පීඨවල පහසුකම් සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්  උපදෙස් දී ඇති බවත්, වාර්තා වේ.
 
දැනට නවතා ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ දීමනාව යළි ලබාදීමට ඇති හැකියාව පිළිබඳ නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹෙන ලෙස ද ජනාධිපතිවරයා බලධාරින්ට දැනුම් දුන් බව වාර්තා වේ.
 
රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී නවීන ලෝකයට ගැළපෙන සේ නිසි උපදේශනයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.
 
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුළු රේඛීය රාජ්‍ය ආයතන ප්‍රධානින් මෙම සාකච්ඡාවට එක්ව සිටි බව වැඩිදුරටත් වාර්තා වේ.