අතිකාල දීමනා නොලැබීම සියදිවි නසාගැනීමට හේතුවක්ද?

අතිකාල දීමනා නොලැබීම සියදිවි නසාගැනීමට හේතුවක්ද?
වසර 13 ක් සේවය කළ ද එකඳු මාසයකවත් අතිකාල දීමනාවක් නොලැබීම හේතුවෙන් සියදිවි නසාගත් පුද්ගලයෙකු පිළිබඳ කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වේ.
 
"ඉතාමත් කනගාටුවෙන් දැනුම් දෙමි" යයි ලිපියක් ලියූ කැස්බෑව මාකන්දන සමුපාකාර මල් ශාලාවේ කළමනාකරුවෙකුගේ සිරුර මල් ශාලාව පිටුපස කොටසේ එල්ලෙමින් තිබිය දී ඊයේ (17) දින සොයාගත් බව කැස්බෑව පොලිසිය පවසා සිටියි.
 
සිද්ධියෙන් මියගොස් තිබුණේ පිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රාදේශීය කළමනාකරු ලෙස සේවය කළ පහල කෑගල්ල විල්ගමුව පදිංචිව සිටි ඩි.කේ කිත්සිරි නැමති 64 හැවිරිදි පුද්ගලයෙකි.
 
මල් ශාලාවේ හි රියැදුරකු ඊයේ (17) පෙරවරුවේ සේවය සඳහා පැමිණි අවස්ථාවේ දී කළමනාකරු ලෙස සේවය කළ මියගිය පුද්ගලයාගේ සිරුර පිටුපස කොටසේ බාල්කයක ලණුවකින් එල්ලෙමින් තිබිය දී දැක තිබූ බව පොලිසිය පවසයි.
 
ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ කැස්බෑව පොලීසිය කළමනාකරු ලියූ බවට සැකකරන ලිපිය මේසයක් මත තිබී සොයා ගෙන ඇති අතර සාමාන්‍යාධිකාරිවරයා අමතා ලියූ ලිපියේ මෙසේ ද සඳහන්ය. 
 
"මා හට පඩි වැඩි කරන ලෙස ලිපියකින් දැනුම දුන්නත් ඒ ගැන දෙපාර්තමේන්තුව නොසලකා හැරීම ගැන මා කනගාටුවට පත් වෙනවා. නමුත් මගේ සේවා කාලයේ උදේ 8 සිට සවස 5 දක්වා නමුත් පැය 24 ක සේවා කාලය තුළ මුර වැටුපත් රිය සහයක වැටුප් හා කම්කරු වැටුපක් නොමැතිව වසර 13ක් ඉක්මවා සේවය කර වැරැද්දක් සිදු වූ විට එය පසුපස ආවා මිස මා හට වූ අසාධාරණය ගැන සෙවීමට අපෝසත් වීම ගැන ඉතාමත් කනගාටුවට පත් වෙනවා,ස්තුතියි මෙයට කළමනාකරු කිත්සිරි" යනුවෙන් එහි සඳහන් කර ඇති බව වාර්තා වේ.
 
මරණය සම්බන්ධයෙන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමටද නියමිතය.