ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ප්‍රමාණවත් වැටුපක් නොලැබීම, අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතතාවය සහ අයහපත් වෘත්තීය පරිසරය හේතුවෙන් වේගවත් වී ඇති වෛද්‍යවරුන් විදෙස්ගත වීම මේ වන විට දැඩි අර්බුදකාරී මට්ටමකට පත් වෙමින් පවතින බවත් නිදහස් සෞඛ්‍ය සේවාව බිඳ වැටීම වැළැක්වීමට ජාතික ප්‍රතිපත්ති මාලාවක අවශ්‍යතාවය පිළිබඳ පැහැදිළි කරමින් රජයේ වෛද්‍යවරන්ගේ සංගම විසින් මාධ්‍ය නිවේනදයක් නිකුත් කරමින් කිය සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
විශේෂඥ වෛද්‍යවරුන් විදෙස්ගත වීම මෙන්ම විදෙස් පුහුණුව සඳහා යොමු වූ වෛද්‍යවරුන් නැවත ශ්‍රී ලංකාවට නොපැමිණීම නිසා මෙරටට අහිමි වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් පවතී.
සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන ලද දත්ත වලට අනුව 2022 වර්ෂයේ ජුනි මාසයෙන් අනතුරුව ගෙවුණු වසරක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් 274ක් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් 842ක් සෞඛ්‍ය පද්ධතියෙන් ඉවත් වී විදෙස්ගත වී ඇති බව සඳහන් කළද, සැබෑ තත්ත්වය ඊටත් වඩා බරපතල බවට තොරතුරු ලැබෙමින් පවතී.
ශ්‍රී ලාංකීය විශේෂඥ වෛද්‍යවරුන්ට සංවර්ධිත රටවල විශාල ඉල්ලුමක් ඇති අතර නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්, හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට කැපී පෙනෙන ඉල්ලුමක් පවතී. සංවර්ධිත රටවල ඉතා ඉහළ වැටුපක් සහ ජීවන තත්ත්වයක් සහිතව වෘත්තියේ නිරත වීමට හැකියාව තිබියදීත්, ඔවුන් විදේශ පුහුණුව අවසන් කර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ දුෂ්කරතා රාශියක් මධ්‍යයේ වුවද මෙරට අහිංසක ජනතාවට සේවය කිරීමේ අරමුණින් ය.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය හමුවේ රෝහල් ගණනාවක ප්‍රතිකාර සේවා අඩාල වී ඇති බව නොරහසකි. නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් සහ හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට ලඟා වෙමින් පවතී.
මෙම ගැටළුවට හේතු හදුනාගනිමින් ඒවා ඉලක්ක කරගනිමින් ස්ථිරසාර විසඳුම් මාලාවක් ලබාදීම වෙනුවට තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හැසිරෙන්නේ අතිශය වගකීම් විරහිත ලෙසය. ඒ අතර ඇතැම් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් මාධ්‍ය ඉදිරියේ ප්‍රතිරූප ගොඩනඟා ගැනීමේ පටු අරමුණින්, විදෙස්ගත වන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පවතින නීති රාමුවට පිටතින් ක්‍රියාමාර්ග වලට එළඹීම සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ තම සුපුරුදු අකාර්යක්ෂමතාවය සඟවා ගැනීමට සිදු කරන මාධ්‍ය සංදර්ශන බව පැහැදිලිය.
මෙම අර්බුදයේ සැබෑ ස්වභාවය සහ ප්‍රතිවිපාක හඳුනාගත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍යවරුන් රට තුල රැඳී සිටීම දිරිමත් කිරීම වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක විය යුතු බව දිගින් දිගටම අවධාරණය කර ඇත. මේ සම්බන්ධයෙන් කරුණු අටකින් සමන්විත අපගේ යෝජනාවලිය පසුගියදා එළි දැක්වුණු අතර ජනාධිපතිතුමන් ඇතුළු සියලු පාර්ශව වෙත මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇත.
එබැවින් වෛද්‍යවරුන් රට හැර යාමේ සහ වෛද්‍ය හිඟයේ සැබෑ අනතුර හඳුනා ගනිමින් ඒ වෙනුවෙන් වහාම ස්ථිරසාර වැඩපිළිවෙළක් හඳුන්වා දීම මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගැනීම අරමුණු කරගනිමින් මේ මොහොතේ දී රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ගත යුතු වටිනාම සහ වැදගත්ම තීරණය බව තරයේ අවධාරණය කරමු.
