යෝජිත නව කම්කරු නීති ප්‍රතිසංස්කරණ පැරදවිය යුත්තේ ඇයි ?

යෝජිත නව කම්කරු නීති ප්‍රතිසංස්කරණ පැරදවිය යුත්තේ ඇයි ?

දැනට ක්‍රියාත්මකව පවතින කම්කරු අණ පනත් 13 ක් අහෝසි කරමින් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති නව කම්කරු පනත මගින් දශක ගණනාවක සිට සේවකයින් විසින් භුක්ති විඳිනු ලබන අයිතිවාසිකම් විශාල ප්‍රමාණයක් කප්පාදු කිරීමට යෝජනා කර ඇත. එහෙත් ලංකාවේ දැනට ක්‍රියාත්මක වන කම්කරු නීති සියල්ලක්ම ඒ ඒ ආණ්ඩු විසින් පණවා ඇත්තේ බලවතා වූ සේවායෝජකයා ඉදිරියේ දුර්වලයා වූ කම්කරුවාගේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කර තුලනය කිරීම සඳහාය.

නව කම්කරු පනත මගින් සියළු සේවා තත්වයන් පිළිබඳව සේව්‍යයා සහ සේවකයා අතර සාකච්ඡා මගින් ඇති කර ගන්නා ගිවිසුමක් මගින් එකඟත්වයකට එන බවට යෝජනා කර ඇත. එමගින් ඉඟි කරන්නේ සේවකයා සහ සේව්‍යයා එකම මට්ටමක සිට සාකච්ඡා කළ හැකි බවයි. නමුත් මෙම තුලනය ඉවත් කර සේවකයින්ව පූර්ණ වහල් තත්ත්වයට පත් කර තම අභිමතය පරිදි සේවකයින්ගෙන් වැඩ ගැනීමට හා ඔවුන්ව ඉවත්කර දැමීමට සේවායෝජකයින් හට පූර්ණ බලය ලබාදීමේ අරමුණින් නව නීති සංශෝධන සකස් කර ඇත.

ඍජු විදේශ ආයෝජන (FDI) ගෙන්වීමට නම් කම්කරු නීති සංශෝධනය කළ යුතු යැයි පවසමින්, යටත් විජිත සමයේ සිට කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් ස්ථාපිත කර තිබූ අණ පනත් අහෝසි කිරීම සාහසික අපරාධයකි. විදේශ ආයෝජන හා කම්කරු නීති අතර කිසිදු සම්බන්ධයක් නැත. කම්කරු ඇමතිවරයාගේ වුවමනාව කම්කරුවන් මුළුමනින්ම වහල් තත්වයට ඇද දැමීම පමණකි.

  • නව සංශෝධන මගින් 1886 දී අමෙරිකාවේ චිකාගෝ නුවර දී කම්කරුවන් ජීවිත ගණනාවක් පූජා කර දිනා ගන්නා ලද පැය 8 වැඩ දිනය අහෝසි කර අතිකාල නොමැතිව
  • පැය 12 ක් එක දිගටම සේවයේ යෙදවීමට ඉඩ ලබා දී ඇත. සමහර සේවාවන්වල පැය 16 සිට 24 දක්වා එක දිගට වැඩ ගැනීමට හැකිවන පරිදි යෝජනා ඉදිරිපත් කර ඇත.
  • හාම්පුතාගේ අවශ්‍යතාවය පරිදි සේවකයෙකු සේවයෙන් ඉවත් කිරීමට කම්කරු කොමසාරිස්වරයාගෙන් අවසර ලබා ගත යුතු බවට දැනට ඇති නීතිය අහෝසි කර ඒ වෙනුවට කම්කරු කොමසාරිස්වරයාට දින 30ක් කල් දී දැණුම් දීමෙන් පසු වන්දි නොමැතිව සේවයෙන් ඉවත් කිරීමට නව යෝජනාවලින් හාම්පුතාට හැකියාව ලබා දී ඇත.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට පමණක් පවරා ඇති බලතල කම්කරු ඇමතිවරයා වෙත පවරාගෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තහනම් කිරීමට හා වෘත්තීය සමිති දඩයම් කිරීමට ඉඩ ලබාදී ඇත.
  • වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සේවයෙන් පහ කිරීමට හා වෘත්තීය සමිතිවල අතපය ගැට ගසා නිහඬ කරවීමට අවශ්‍ය උපරිම බලය පවරාගෙන ඇත.
  • හාම්පුතාට වාසිවන පරිදි සියළු කොන්දේසි ඇතුළත් කර සේවයට බැඳෙන විට අත්සන් ලබාගන්නා පත්වීමේ ලිපිය අනෙක් සියළු කම්කරු නීති අභිබවා ක්‍රියාත්මක නීතියක් වශයෙන් පරිවර්තනය කෙරෙන අතර, එය අභියෝග කිරීමට සේවකයාට ඉඩක් නැත. මෙම පත්වීමේ ලිපිය හාම්පුතාට අවශ්‍ය පරිදි වරින්වර වෙනස් කළ හැක.
  • කාර්යාල සහ සාප්පු සේවක පනතින් කාන්තාවන් රාත්‍රී සේවා මුරවල සේවයට කැඳවීමේ දී හාම්පුතාට පනවා ඇති කොන්දේසි එනම් ප්‍රවාහන පහසුකම්, අදාල සේවිකාවගේ කැමැත්ත, විවේක කාමර සැපයීම, කාන්තා පාලිකාවකගේ සේවය ලබා දීම ආදී කොන්දේසි ඉවත් කර ඇත.
  • කර්මාන්තශාලාවල රාත්‍රී සේවයේ යෙදෙන කාන්තාවන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමේ වගකීමෙන් හාම්පුතා නිදහස් කර ඇති අතර මසකට රාත්‍රී සේවයේ යෙදවිය හැකි දින ගණන 10 සිට 15 දක්වා වැඩි කර ඇත.
  • මෙම කම්කරු සංශෝධන නීති 2019 දී එවක ආණ්ඩුව විසින් “ඒකීය කම්කරු නීති” ලෙසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන ලද අතර එය මෙරට වැඩ කරන පන්තිය විසින් පරාජයට පත් කරන ලදී. මෙම නව සංශෝධන 2019 යෝජනාවේ කාබන් පිටපතකි.
  • මාතෘ නිවාඩු සමයේ වැටුප් ඇතුළු ප්‍රතිලාභ ගෙවීමේ වගකීමෙන් හාම්පුතා නිදහස් කර ඇත.
  • සති අන්ත නිවාඩු දිනවල අතිකාල නොගෙවා වැඩ ගත හැක.
  • අර්ධ කාලීන රැකියා හඳුන්වා දීම මගින් සේවකයන්ට ලැබෙන වැටුප් කප්පාදු කර ඇත.
  • විශ්‍රාම වයස අවුරුදු 60 සිට 55 දක්වා අඩු කර ඇත.
  • මෑන්පවර් ක්‍රමය නීතිගත කිරීම හරහා සියළුම රැකියාවල අවිනිශ්චිත භාවයක් ඇති කර ඇත.
  • දෛනික සේවා කාලය, කෑම වේලාව, සති අන්ත නිවාඩු හා අතිකාල වැඩ තීරණය කිරීම හාම්පුතාගේ ඒකමතික තීරණය වේ.
  • නිත්‍ය සේවාවන්වලට කොන්ත්‍රාත්, තාවකාලික සේවකයින් යෙදවීමට පහසුකම් සලසා ඇත.
  • වැටුප් වැඩිවීම් ලබා දෙනුයේ කාර්ය සාධනය අනුවයි.
  • වෘත්තීය සමිතියක් පිහිටුවීමට අවශ්‍ය සේවක සංඛ්‍යාව 7 සිට 100 දක්වා වැඩිකර ඇත. අළුතින් පනවා ඇති කොන්දේසි මගින් වෘත්තීය සමිති සෑදීම වළක්වා ඇත.
  • අමු ද්‍රව්‍ය නොමැති වීම, වසංගත ආදී කරුණු නිසා නිෂ්පාදන නොවන්නේ නම් වැටුප් කපා හැරේ.
  • සේවායෝජකයාගේ අභිමතය පරිදි වාර්ෂික නිවාඩු අනුමත කිරීම.
  • පාසැල් කාලයට පෙර හා පසුව ළමුන්ව සේවයෙහි යෙදවීමට ඉඩ දී ඇත.

කම්කරු නීති කාලානුරූපීව සංශෝධනය කිරීමේ වුවමනාවක් ආණ්ඩුවට ඇත්තේ නම් හොර පාරෙන් නොව සම්මත ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසට හා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සාමාජිකත්වය දරන රටක් ලෙස එහි 190 පමණ වූ උපමාන (Conventions) වලට අනුකූලව කටයුතු කරන ලෙස ආණ්ඩුවට බල කර සිටිමු.

ඉහත කරුණුවලින් පැහැදිළිවන්නේ සේවකයින් දැනට භුක්ති විඳින සියළුම මූලික රැකියා අයිතිවාසිකම් අහෝසි කරමින් දේශීය සහ විදේශික ආයෝජකයන් හට තම සූරා කෑම කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට නව කම්කරු නීති සංශෝධන මගින්  පූර්ණ අයිතිය හා නීතිමය බලය ලබාදී ඇති බවයි. මෙම නීති සම්මත වුවහොත් ලංකාවේ කම්කරුවන්ගේ සේවා තත්වයන් වසර 200 ක් පමණ ආපස්සට යනු ඇත. එම නිසා මෙම සංශෝධන පරාජය කිරීම අපට අත්නොහැරිය හැකි වගකීමකි. ඒ සඳහා නායකත්වය දීමට අප සූදානම්ය. ඒ සඳහා පෙළ ගැසෙන ලෙස රටේ සියළුම සේවා නියුක්තියන්ගෙන් ඉල්ලා සිටිමු.

සැබැඳි පුවත්

ජාතික කම්කරු උපදේශක සභාවේ වත්මන් සහ හිටපු වෘත්තීය සමිති එකතුවේ සමිතීන් වන

  1. ලංකා බැංකු සේවක සංගමය
  2. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය
  3. ලංකා වෘත්තීය සමිති සම්මේලනය
  4. අන්තර් සමාගම් සේවක සංගමය
  5. එක්සත් කම්කරු සම්මේලනය
  6. ලංකා වතු සේවා සංගමය
  7. නැෂනල් යුනියන් ඔෆ් සීපෙයාරස් ශ්‍රී ලංකා
  8. නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය
  9. ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය
  10. ලංකා ජාතික වතු කම්කරු සංගමය
  11. එක්සත් වතු කම්කරු සමිතිය
  12. ජාතික කම්කරු සංගමය
  13. ලංකා කම්කරු සම්මේලනය
  14. ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය

2023 අගෝස්තු 15 දින

(ජාතික කම්කරු උපදේශක සභාවේ වත්මන් සහ හිටපු වෘත්තීය සමිති එකතුවේ සමිතීන් වන විසින් බේදා හරින ලද පත්‍රිකාවකි)