ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා ගැන තීන්දුවක් ගන්නා ලෙස GMOA ඉල්ලයි

ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා ගැන තීන්දුවක් ගන්නා ලෙස GMOA ඉල්ලයි

රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් ප්‍රතික්ෂේප කල අවසරයක් මධ්‍යයේ අනීතික ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා - තනතුරේ රැඳී සිටින වෛද්‍ය ජී.  විජේසුරිය මහතා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,  

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා II තනතුරේ වැඩ ආවරණය කිරීමට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කල වෛද්‍ය ජි. විජේසූරිය මහතා ‘අනීතික’ අයුරුන් එම තනතුරේ අඛණ්ඩව කටයුතු කිරීමට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා සිටීම.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා II තනතුරේ දිගින් දිගටම රාජකාරි කිරීම හරහා මතුව ඇති අර්බුදකාරි තත්ත්වය පිළිබඳ අප විසින් ඔබ ඇතුලු සෞඛ්‍ය බලධාරීන් වෙත සාක්ෂි සහ සාධක සහිතව කරුණු දක්වා ඇත.

මේ වන විට මෙම නිලධාරීයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා ඉතා බරපතල බව ඔබටද වැටහි ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.

කෙසේ නමුත් අප මීට ඉහත යොමු කල ලිපිය හරහාද පෙන්වා දුන් පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය තුල ක්‍රියාත්මක ‘සැඟවුණු හස්තයක්’ මගින් මෙම නිලධාරීයාගේ හිතුවක්කාරි ක්‍රියාකාරකම් සඳහා සාදාචර විරෝධි රැකවරණයක් ලබා දීම සිදු කරන බව නිරීක්ෂණය වේ.

මේ අතර අප වෙත ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබි ඇති පරිදි වෛද්‍ය ජි. විජේසූරිය යන අයට සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා II තනතුරේ රාජකාරි ආවරණය කිරීමට අවසර ලබා දෙන ලෙස සිදු කළ ඉල්ලීම මේ වන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

අදාල නිලධාරීයාගේ පෞද්ගලික ලිපි ගොණුව පරීක්ෂා කලහොත් මේ පිළිබඳව වන රාජ්‍ය සේවා කොමිෂන් සභා නියෝගය පැහැදිලි කර ගත හැකි වනු ඇත. ඒ අනුව මෙම නිලධාරීයා මේ වන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රතික්ෂේපිත අවසරය මධ්‍යයේ ‘අනීතික’ ලෙස තනතුරේ රැඳි සිටින බව පෙනී යයි.

වෛද්‍ය ජි. විජේසූරිය මහතාගේ පිළිගත නොහැකි හා හිතුවක්කාරි ක්‍රියාපිලිවෙත හේතුවෙන් වෛද්‍ය නිලධාරී ස්ථානමාරු ක්‍රියාවලිය මේ වන විට මුලුමනින්ම ඇණහිට ඇති අතර මේ හේතුවෙන් ඉදිරි කාලය තුල සෞඛ්‍ය පද්ධතිය තුල බරපතල ගැටළුකාරි තත්ත්වයක් නිර්මාණය වනු ඇත.

ඒ අනුව මෙම නිලධාරීයා තවදුරටත් ඉහත තනතුරේ නිසි අවසරයකින් තොරව රඳවා ගැනීම කිසිසේත්ම පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව ලෙස ඒකමතිකව තිරණය කරන ලදි.

ඉහත සියලු කරුණු මෙන්ම මේ වන විටත් අප විසින් පෙන්වා දී ඇති මෙම නිලධාරීයාගේ පිළිගත නොහැකි ක්‍රියාකාරිත්වය සම්බන්ධව කඩිනම් සමාලෝචනයක් සිදු කොට පවතින අසතුටුදායක තත්ත්වය නිවැරදි කිරීම සඳහා වන තීන්දු තීරණ වහාම ප්‍රකාශයට පත් කරන මෙන් අවධාරණය කරමු.