ලංකාවේ දරුවන් ගැන යුනිසෙෆ් අවදියෙන් 

ලංකාවේ දරුවන් ගැන යුනිසෙෆ් අවදියෙන් 
වතුකරයේ සිටින දෙමළ ජනයා දැඩි ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
 
එම සංවිධානය මේ බව ප්‍රකාශ කළේ, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය සදහා වන බෝග සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු මෙහෙයුම (CFSAM) විසින් 2023 මැයි 25 නිකුත් කරන ලද විශේෂ වාර්තාවක් මගිනි.
 
ඒ අනුව ශ්‍රී ලංකාවේ වතු අංශයෙන් සියයට 42ක ප්‍රතිශතයක් උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයට මුහුණ දී සිටින අතර මෙරට දරුවන්ගෙන් අඩක් කුසගින්නේ සිටින බවද, සඳහන් ය.
 
අදාළ වාර්තාව අනුව දෙවැනියට වැඩිම ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දී ඇත්තේ, සමෘද්ධි හෝ ආබාධිත ප්‍රතිලාභ වැනි සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම මත දැඩි ලෙස යැපෙන පවුල් ය.
 
පවුලේ බාල දරුවන් බරපතළ ලෙස මෙම තත්ත්වයට ගොදුරු වී සිටින බව වාර්තා වේ.
 
යුනිසෙෆ් සංවිධානය ලක්ෂ 23ක් ළමුන්ට ප්‍රමාණවත් ආහාර නොමැති බව ද අදාළ වාර්තාවෙන් පෙන්වා දී තිබෙන අතර  වසරක කාලයක් පුරාවට ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික දුෂ්කරතාවයෙන් අනතුරුව 2023 මාර්තු 20 එළඹි IMF ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම සමඟ ආර්ථිකයේ යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කරන ලදී.
 
අවදානමට ලක් විය හැකි පවුල් බොහෝමයක් සිය ජීවනෝපායන් අහිමි වීමට, ආහාර අනාරක්‍ෂිතතාවයට සහ පෝෂණ අභියෝග වලට මුහුණ දී සිටින බව UNICEF ආයතනය අවධාරණය කරයි.
 
2023 මැයි වන විට මිලියන 3.9 ක ජනතාවක් මධ්‍යස්ථ ආහාර අනාරක්‍ෂිතතාවයක සිටි අතර, පවුල් 10,000 කට අධික සංඛ්‍යාවක් දැඩි ආහාර අනාරක්‍ෂිතතාවයකට මුහුණ දී සිටින බව එහි සඳහන්ය.
 
ජීවිතාරක්ෂක පෝෂණය, සෞඛ්‍යය, අධ්‍යාපනය, ජලය සහ සනීපාරක්ෂාව, ආරක්ෂාව සහ සමාජ ආරක්ෂණ සේවාවන් වෙත ප්‍රවේශ වීම සඳහා මිලියන 2.9 කට අධික ළමුන් සංඛ්‍යාවකට මානුෂීය ආධාර අවශ්‍යවේ.
 
පසුගිය වසරේ අප්‍රේල් මස වන විට සියයට 13.1 ක් වූ අඩු බරින් යුත් වයස අවුරුදු පහට පහල දරුවන් සංඛ්‍යාව මේ අවුරුද්ද වන විට සියයට 13.1 දක්වා ඉහල ගොස් තිබේ.
 
වයස අවුරුදු 5-9 සහ 10-17 අතර ළමුන් අතර, විටමින් D ඌනතාවය සහ විටමින් B12 සහ සින්ක් වැනි ක්ෂුද්‍ර පෝෂක ඌනතාවයන් ඉහළ යාමත් රට දැනට මුහුණ දෙන එක් ප්‍රධාන පෝෂණ ගැටළුවක් බව අදාළ වාර්තාවේ සඳහන්ය.
 
2022 වසර තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 7.8 කින් හැකිලී යාමේ ප්‍රතිඵලයක් ලෙස රැකියා සහ ජීවනෝපාය අහිමිවීම් රැසක් සිදු වූ අතර, ඊට සමගාමීව පැවති අස්ථාවර පාලනයත්, පුළුල්ව පැතිරුනු සිවිල් නොසන්සුන්තාවත් සහිත දේශපාලන අර්බුදයකින් දිවයින පීඩාවට පත් විය.
 
IMF වැඩසටහනත් සමඟ රට මේ වන විට ආර්ථික ස්ථාවරත්වයක් දකිමින් සිටියද, මන්දගාමීවූත් දීර්ඝවූත් ප්‍රතිසාධන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට පෙර, ලංකාවේ ආර්ථිකය 2023 වසරේදී තවදුරටත් හැකිලෙනු ඇති බවට පුරෝකථනය කර ඇත.
 
ප්‍රමාණවත් තරම් ආහාර හෝ ආහාර මිලදී ගැනීමට මුදල් නොමැති වීම හේතුවෙන්, වතුකරයේ පවුල් වලින් සියයට 75කට පමණ ආහාර පදනම් කරගත් විවිධ උපාය මාර්ග භාවිතා කරන්නට සිදු වී ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහනේ CFSAM නිකුත් කළ විශේෂ වාර්තාවේ දක්වා තිබේ.
 
දිනෙන් දින අයහපත් වන නියං තත්ත්වය 'යල' කන්නයේ අස්වැන්නට බලපාන හෙයින් සහල් තොග සහ සිල්ලර මිල ඉහළ යනු ඇතැයි ද, එමඟින් රට තුළ පවතින ආහාර අනාරක්ෂිතභාවය තවත් උග්‍ර වනු ඇත.
 
පවතින නියං තත්ත්වය ඉදිරි යල කන්නයට අහිතකර ලෙස බලපෑ හැකි අතර, දැඩි නියඟය හේතුවෙන් දැනටමත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 45,000ක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව තිබේ.
 

මීට අමතරව, පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් ජල පෝෂක ප්‍රදේශ ඇතුළුව, රට පුරා ලැව්ගිනි රැසක් ද වාර්තා වී තිබුණි..