“ගුරුවරුන් 5000ක් විදෙස්ගත වීමෙන් ලංකාවේ අධ්‍යාපනය අනතුරේ” – ලංකා ගුරු සංගමය

“ගුරුවරුන් 5000ක් විදෙස්ගත වීමෙන් ලංකාවේ අධ්‍යාපනය අනතුරේ” – ලංකා ගුරු සංගමය

2022 දෙසැම්බර් මාසයෙන් පසු ශ්‍රී ලංකාවෙන් විදේශගත වූ සහ වැටුප් රහිත නිවාඩු ලබා දෙන, සේවයෙන් ඉවත් වූ ගුරුවරුන් සංඛ්‍යාව පන්දහස (5000) ඉක්මවා ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ, ගුරුවරුන් සම්පූර්ණයෙන් ම ගුරු සේවයෙන් ඉවත් වී විදේශගත වීමේ ප්‍රවණතාවක් මේ වන විට ඇති වී තිබෙන බැවින් එය අධ්‍යාපනය බරපතළ ලෙස කඩා වැටීම සඳහා බලපාන බව ය.

සේවයෙන් ඉවත් වී ඇති ගුරුවරුන් අතර වැඩි දෙනෙකු ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය, තොරතුරු තාක්ෂණය යන විෂයයන් උගන්වන ගුරුවරුන් බව ත් මෙම තත්ත්වය දුෂ්කර පාසල්වලට ප්‍රබලව ම බලපා ඇත්තේ, මෙම විෂයයන් සඳහා සිටි එක ම ගුරුවරයා ද අහිමි වීමේ අවදානම නිසා ය.

රජය මගින් මේ වසර තුළ රාජ්‍ය සේවයට බඳවා නොගැනීමට තීරණයක් ගෙන ඇති බැවින් මේ වසර අගදී තවත් ගුරුවරුන් පන්දහසකට (5000) ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යාම හේතුවෙන් මේ රටේ අනාගත පරපුර දැනුමෙන්, කුසලතාවයෙන් හා ආකල්පයෙන් පෝෂිත පිරිසක් බවට පත් කිරීම ගැටලුවක් වනු ඇති බව ත්, එම තත්ත්වය ඇති වීමට මෙය ප්‍රධාන කාරණාවක් වන බව ත් ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ ය.

ලංකාවේ ගුරු හිඟය හතලිස් දහසකට (40000) ආසන්න වන අතර එය බරපතළ ලෙස බලපා ඇත්තේ, දුෂ්කර පළාත් සඳහා ය. ඒ අනුව, මෙම ගැටලුව තවත් තීව්‍ර කරන අතර හාර දහසක (4000) පමණ ගුරු හිඟයක් පවතින උතුරු මැද වැනි පළාත් මේ තුළින් තවත් අපහසුතාවට පත් වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ඔහු තවදුරට ත් සඳහන් කළේ, වෙනත් ක්ෂේත්‍ර සඳහා රාජ්‍ය බඳවා ගැනීම් සිදු නොකළ ද ගුරු පුරප්පාඩු හැකි තරමින් හෝ පිරවීම රජයේ වගකීමක් වන අතර එය ඉටු කරන ලෙසට තම සංගමය ඉල්ලා සිටින බව ය.

ලංකාවේ ගුරුවරුන් මෙසේ රැල්ලක් සේ විදේශගත වීම සහ වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම වැළැක්වීමට නම් වහා ම මේ සඳහා රජය මැදිහත් වී ගුරුවරුන්ට ජීවත්වීමට හැකි පරිදි ඔවුන්ගේ වැටුප් විෂමතා සකස් කර දී මේ රටේ රඳවා ගැනීම සඳහා කටයුතු කළ යුතු බව ඔහු සඳහන් කළේ ය.

මේ සඳහා කිසිදු විකල්ප යෝජනාවක් රජය සතුව මේ වන විට නොමැති බව පෙන්වා දෙන සභාපතිවරයා උපාධිධාරීන් හෝ වහා ම බඳවා ගත යුතු බව ත් උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ ද මේ වන විට අවුල් ජාලයක් බවට පත් කර ඇති අතර එසේ බඳවා ගන්නේ නම් පුරප්පාඩු සහිත දුෂ්කර ප්‍රදේශවලට ප්‍රමුඛතාව දිය යුතු බව ත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

(මව්බිම)